සුභ මොහොතින් රාත්‍රී 6.43ට ශ්‍රී දළදා මාලිගාව අභියසින් පිටත්වන අවසන් රන්දෝලි පෙරහර, දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය සහ ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතයි. උඩුවියන් සහිතව පාවඩ මතින් සධාතුක කරඬුව වැඩමවන මංගල හස්ති රාජයා ගමන් ගන්නා මෙම අභිමානවත් පෙරහර නැරඹීමට දිවයිනේ නානලා දෙසින් විශාල පිරිසක් මේ වන විටත් මහනුවර නගරයට රොක් වෙමින් සිටිනවා.
කෙසේ වෙතත්, මෙම මහා කලා මංගල්‍යය නැරඹීම සඳහා පනවා ඇති ඇතැම් ස්ථානවල ආසන මිල ගණන් අහස උසට ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඇතැම් ස්ථානවල ආසනයක් රුපියල් 40,000ක් වැනි අධික මුදලකට අලෙවි වන බව සඳහන්. මහනුවර මහ නගර සභාව මඟින් ක්වින්ස් කොරිඩෝවේ පනවා තිබූ රුපියල් 28,000යේ පළමු පෙළ ආසන සියල්ලම මේ වන විටත් විකිණී අවසන් වී තිබීම විශේෂත්වයක්.
මේ අතර මහ පාරේ ඉටි රෙදි එළා ඉඩ වෙන් කර ගනිමින්, එම ඉඩකඩ රුපියල් 3,000ත් 4,000ත් අතර මුදල්වලට විකිණීමේ ජාවාරමක් ද ක්‍රියාත්මක වන බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා කියලා ආරංචි ලැබිලා තියෙනවා...