දමිළ භාෂාව භාවිත කරන මුහුදු ආදිවාසී නායක නඩරාජා කනගරත්නම් ඇතුළු පිරිස විසින් ගෞරවයෙන් රැගෙන ආ මීපැණි කලය, සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍යපාද අලුදෙණියේ සුබෝධි නාහිමිපාණන් වහන්සේ වෙත චාරිත්‍රානුකූලව භාරදීම මෙහිදී සිදු කෙරුණා. අනතුරුව එම පිරිස මංගල මහා සෑය වටා ප්‍රදක්ෂිණා කර වන්දනා කිරීමෙන් පසු මීපැණි පූජාව සිදුකර තිබෙනවා.
විශේෂත්වය වන්නේ, මුහුදු ආදිවාසී ජනතාවට පහසුවෙන් අවබෝධ කරගත හැකි වන පරිදි පූජා කටයුතු සිංහල සහ දමිළ යන භාෂා දෙකෙන්ම පැවැත්වීමට සේරුවිල නාහිමිපාණන් වහන්සේ කටයුතු කිරීමයි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතාගේ උපදෙස් පරිදි නැගෙනහිර පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙම අවස්ථාවේ සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකර තිබුණා.
පින්කම අවසානයේ සේරුවිල නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මුහුදු ආදිවාසී ජනතාවට පිරිත් නූල් බැඳ සෙත් පතා ආශීර්වාද කර තිබෙනවා. වෙරුගල් සහ මූතූර් ඇතුළු ප්‍රදේශවල ගම්මාන 27ක් පුරා ව්‍යාප්තව සිටින මෙම ජනතාව, සේරුවිල ශ්‍රී ලලාට ධාතු මහා පෙරහර මංගල්‍යයේදී ඔවුන්ගේ පාරම්පරික නර්තන අංග ඉදිරිපත් කිරීමට ද නියමිතයි.
විවිධ සමාජ හා භාෂාමය හේතු නිසා සමාජයෙන් යම් දුරස්ථභාවයක පසුවන මෙම ආදිවාසී ජන කොට්ඨාසය වෙනුවෙන් සේරුවිල නාහිමිපාණන් වහන්සේ නිරන්තරයෙන් මැදිහත් වෙමින් ඔවුන්ගේ ගැටලු විසඳීමට කටයුතු කිරීමද කාගේත් පැසසුමට ලක්වන කරුණක්.