මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලෙහෙඩීයන්ගල දියවර ගම්මානයේ ජීවත් වන පවුල් 450කට අධික අහිංසක ජනතාව මේ දිනවල දැඩි පානීය ජල හිඟයකින් දැඩි ලෙස පීඩා විඳිමින් සිටිනවා.
මීට වසර කිහිපයකට පෙර ස්වේච්ඡා සංවිධානයකින් ලබාදුන් ජල ටැංකියෙන් එන්නේ ගල්කුඩු මිශ්‍ර වූ අපිරිසිදු ජලයයි. පවතින දැඩි වියළි කාලගුණය නිසා නිවෙස් ආසන්නයේ තිබූ ලිං සියල්ල සිඳී ගොස් ඇති අතර, පිපාසය ඉවසාගත නොහැකි තැන බොහෝ දෙනා මේ අපිරිසිදු ගල්කුඩු වතුරම බීමට පුරුදු වී සිටිනවා.
අතමිට මුදල් සහ වාහන පහසුකම් ඇති අය කිලෝමීටර් 5ක් 7ක් ඈත ගම්මානවලට ගොස් මුදලට ජලය මිලදී ගත්තත්, කිසිදු ආදායමක් හෝ පහසුකමක් නැති අන්ත අසරණ මිනිසුන්ට සිදුව ඇත්තේ මේ විෂ සහිත අපිරිසිදු ජලය පානය කිරීමටයි. මේ හේතුවෙන්ම ගමේ ලොකු කුඩා විශාල පිරිසක් මේ වන විටත් මාරාන්තික වකුගඩු රෝගයට ගොදුරු වී අවසන්.
පවතින දැඩි නියඟය නිසා ගහකොළ සියල්ල වියළී ගොස් ඇති අතර, මිනිසුන්ට පමණක් නොව සතා සිවුපාවුන්ට පවා බීමට දිය බිඳක් නැති තත්ත්වයක් උදාවී තිබෙනවා. හරිහැටි පාරක් තොටක් හෝ ජීවනෝපායක් නැති මේ ජනතාව මේ වන විට දැඩි ආහාර හිඟයකටද මුහුණ පා සිටිනවා.
"අපිට ලොකු දේවල් එපා, බොන්න පිරිසිදු වතුර ටිකක් ගන්න Filter එකක් හරි හයි කරලා දෙන්න" යනුවෙන් බලධාරීන් ඉදිරියේ දෑත් දිගු කර හඬා වැටෙන මේ අහිංසක මිනිසුන්ගේ ආයාචනයට කවුරුන් හෝ පිහිට වේවිද?