මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික බෝවතැන්න ජලාශයේ ජලය මුළුමනින්ම හිස් කිරීමේ දැවැන්ත කටයුත්ත අද (24) සිට ආරම්භ කරන බවයි ජලාශ භාර ඉංජිනේරු බුද්ධික නවරත්න මහතා තහවුරු කළේ.
බෝවතැන්න ජලාශය ඉදිකරලා මේ වෙනකොට හරියටම අවුරුදු 50ක් සපිරෙනවා. මේ අඩ සියවසක කාලය පුරාම ජලාශයේ පතුලේ එකතු වුණු දැවැන්ත රොන් මඩ සහ වැලි තට්ටු ගැන විශේෂ අධ්‍යයනයක් කරලා, ඒ සියල්ල ඉවත් කර ජලාශය සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීම තමයි මෙහි ප්‍රධාන අරමුණ.
ජලාශය පිරිසිදු කිරීමට අමතරව, බෝවතැන්නෙන් ජලය නිකුත් වන කලාවැව ජල සැපයුම් මාර්ගයේ රැඳී ඇති රොන් මඩ ඉවත් කිරීමටත් නියමිතයි.
කෙසේ වෙතත්, මේ දැවැන්ත මෙහෙයුම නිසා පහළ ජනතාවට ජලය ලබාගැනීමට කිසිදු බාධාවක් ඇති නොවන බවත්, ජල සැපයුම බිඳවැටෙන්නේ නැති බවත් ඉංජිනේරුවරයා වැඩිදුරටත් අවධාරණය කළා.