ඊයේ (22) රාත්‍රී 9.21ට පමණ මඩකලපුව, කෝට්ටේකල්ලාර් ප්‍රධාන මාර්ගයේ කන්නකී අම්මන් කෝවිල අසලදී සිදුවූ දරුණු රිය අනතුරකින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තරුණයින් සිව්දෙනෙකු යතුරුපැදි දෙකකින් කල්මුනේ දෙසට අධික වේගයෙන් ධාවනය කරමින් සිටියදී එම යතුරුපැදි දෙක එකිනෙක ගැටී තිබෙනවා. ඉන් නොනැවතුණු එක් යතුරුපැදියක්, විශේෂ උපකාරක පන්තිය (Class) අවසන් කර නිවෙස් බලා යාමට පාර මාරුවීමට බලා සිටි අහිංසක දරුවන් තිදෙනෙකුගේ ඇඟ මතට කඩා වැදී ඇත්තේ මුළු ප්‍රදේශයම කම්පා කරමින්.
අනතුර සිදුවූ ස්ථානයේදීම 18 හැවිරිදි කිෂොන් නමැති සිසුවා අවසන් හුස්ම හෙළා තිබූ අතර, බරපතල තත්ත්වයේ පසුවූ 17 හැවිරිදි කතිසන් නමැති අනෙක් සිසුවා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (23) උදෑසන සදහටම දෙනෙත් පියාගත්තා.
මෙම අනතුරින් තවත් පිරිමි ළමුන් දෙදෙනෙකු සහ ගැහැණු ළමුන් තිදෙනෙකු බරපතල තුවාල ලබා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
පොත් බෑග් කරේ දමාගෙන හෙට දවසේ රටක් වටිනා මිනිසුන් වෙන්න පෙරුම් පිරූ මේ අහිංසක දරුවන් දෙදෙනාගේ අවාසනාවන්ත වියෝව මුළු ගම්මානයම මහත් ශෝක සාගරයක ගිල්වා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.