තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව තිබෙනවා. එහිදී එක් සහෝදරයෙකු විසින් අනෙක් සහෝදරයාට පොල්ලකින් පහරදී ඇති අතර, බරපතල තුවාල ලැබූ ඔහු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මහගොඩ ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 28ක් වන සැකකාර සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.
මේ අතර ඊයේ රාත්‍රී කාලයේදීම ගාල්ල, ගල්වල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී තවත් ඝාතනයක් සිදුකර තිබෙනවා. පැරණි අමනාපකමක් මුල්කරගනිමින් සිදුවූ මෙම ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ගාල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ගාල්ල ප්‍රදේශයේම පදිංචි 24 හැවිරිදි තරුණයෙක්. මෙම ගැටුමේදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ගාල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා. සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන වලව්වත්ත ප්‍රදේශයේ පදිංචි 19 සහ 29 වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ගාල්ල පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.