අද (29) පස්වරු 1.30ට පමණ මෙම පැහැරගැනීම සිදුව ඇති අතර, රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය සිය පවුලේ ඥාතීන් සමඟ පැමිණ තිබෙනවා. ඇය සිය පෙම්වතාට නොදන්වා මෙම උත්සවයට පැමිණ ඇති අතර, පෙම්වතා විසින් ඇයව පැහැරගෙන යන බවට පොලීසියට දැනුම් දී ඇත්තේ තරුණියගේ පියා විසින්.
තොරතුර ලැබීමත් සමඟ ක්‍රියාත්මක වූ නාරාහේන්පිට පොලීසිය, නාරාහේන්පිට සිට නාවල දෙසට ධාවනය වූ අදාළ මෝටර් රථය නවත්වන ලෙස සංඥා කළත් එය නොනවත්වා ධාවනය කර තිබෙනවා. පසුව නාරාහේන්පිට – නාවල මාර්ගයේදී යළිත් රථය නවත්වන ලෙස අණ කළද එය පලායාමට උත්සාහ කිරීම නිසා පොලීසිය මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමටයි කටයුතු කළේ.
වෙඩි ප්‍රහාරයෙන් පසු රියදුරු මෝටර් රථය අතහැර දමා පලාගොස් ඇති අතර, පොලීසිය සිදුකළ පරීක්ෂාවේදී රථය තුළ සිටි තරුණිය බේරාගැනීමට හැකිව තිබෙනවා. විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ මෝටර් රථය ධාවනය කර ඇත්තේ ඇයගේ මිදිගම පදිංචි පෙම්වතා බවයි.
පැහැරගැනීමට භාවිත කළ මෝටර් රථය තරුණයාට අයත් එකක් වන අතර, තරුණියගේ පියා විසින් උපාධි ප්‍රදානෝත්සවයට පැමිණීම සඳහා රැගෙනවිත් තිබෙන්නේ ද එම රථය බව සඳහන්. දැනට කුරුඳුවත්ත පොලීසිය භාරයේ ඇති මෙම මෝටර් රථයට අමතරව තරුණිය අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර තිබෙනවා. පලාගිය පෙම්වතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.