මේ කියන්න යන්නේ අහන අයගේ පවා ඇස්වලට කඳුළු ගේන ඒ වගේ හද කම්පා කරවන අතිශය සංවේදී කතාවක්.
මේ අවාසනාවන්ත සිදුවීම වාර්තා වෙන්නේ ගම්පොළ, නාරන්විට, ආඩියාකඩවත, පිහිල්ලදෙනිය ප්‍රදේශයෙන්. මේ හදිසි අනතුරෙන් සදහටම ඇස් පියාගත්තේ අවුරුදු තුනක් වයසැති මොහොමඩ් අයාද් කියන හුරතල් පිරිමි දරුවා.
සිද්ධිය වෙලා තියෙන්නේ මෙහෙමයි. අද (17) උදේ වරුවේ පුංචි අයාද් මිදුලේ සෙල්ලම් කර කර ඉඳලා තියෙනවා. මේ අතරේ දරුවගේ තාත්තා තමන්ගේ යතුරුපැදිය හෝදන්න ලෑස්ති වෙලා, ඒකට ඕන කරන වතුර බටය (හෝස් එක) ගන්න මහගෙදර සොල්දරයට ඉණිමඟක් තියලා උඩට නැගලා තියෙනවා.
තාත්තා උඩට යනකොටම මිදුලේ හිටපු මේ පුංචි දරුවත් තාත්තා පස්සෙන්ම ගේ ඇතුළට ඇවිත්. ඒත් මේ කිසිම දෙයක් නොදැන හිටපු තාත්තා, හෝස් බටේ ගන්න සොල්දරේ ලෑල්ලක් උඩට අඩිය තියලා.
අවාසනාවක මහත දිරාපත්වෙලා තිබුණු ඒ ලෑල්ල එකපාරටම කැඩිලා ගිහින්. තරමක් තරබාරු, බර සිරුරක් තියෙන තාත්තා එකපාරටම පහළට වැටිලා තියෙන්නේ, පහළ බලන් හිටපු පුංචි අයාද්ගේ ඇඟ උඩටමයි. මුනින් අතට වැටුණු මේ පුංචි මල් කැකුළ ඒ මහ විශාල බරට යටවෙලා ගියා.
ඇහිපිල්ලම් ගහන මොහොතකින් සිද්ධ වුණු මේ අනතුරෙන් දරුවගේ නාසයෙන් සහ කටින් දැඩි ලෙස ලේ ගලන්න පටන් අරන් තියෙනවා.
ලේ විලක් මැද වැටිලා හිටපු දරුවාවයි, බරපතල තුවාල වෙලා හිටපු තාත්තාවයි කලබල වුණු නිවැසියන් වහාම ත්‍රිරෝද රථයකින් ගම්පොළ ශික්ෂණ රෝහලට අරන් ගිහින්.
ඒත් ඒ වෙද්දිත් ප්‍රමාද වැඩියි. පුංචි අයාද් ඒ වෙද්දිත් මේ ලෝකෙ දාලා ගිහින් ඉවරයි. තමන්ගේ අතින්ම තමන්ගේ රත්තරන් දරුවා මේ ලෝකෙන් සමුගත්තා කියන දරාගන්න බැරි දුකත් එක්ක ඒ පියාත් මේ වෙද්දි බරපතල තුවාල ලබා රෝහල් ගතවෙලා දැඩි වේදනාවකින් පසුවෙන බවයි ගම්පොළ පොලිසිය සඳහන් කළේ.