ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (15) උදෑසන නිකුත් කළ නිල වාර්තාවලට අනුව, මේ වනවිටත් ඛේදජනක ලෙස මිනිස් ජීවිත 02ක් අපට අහිමි වී අවසන්. මෙම අවාසනාවන්ත මරණ වාර්තා වී ඇත්තේ මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්කවලින්.
දිස්ත්‍රික්ක 8කට බරපතළ බලපෑම් දහස් ගණනක් අවතැන්!පවතින අයහපත් කාළගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක ජන ජීවිත මුළුමනින්ම අඩාල වී තිබෙනවා.වර්තමාන වාර්තා අනුව පවුල් 1,113කට අයත් පුද්ගලයින් 3,475 දෙනෙකු මේ වනවිටත් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.
ඉන් අසරණ වූ පුද්ගලයින් 104 දෙනෙකු මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක හදිසියේ රඳවා තැබීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.මීට අමතරව චණ්ඩ මාරුත සහ ගංවතුර තත්ත්වයන් නිසා නිවාස 88කට අර්ධ හානි සිදුව තිබෙනවා.
වැව් සහ ජලාශ 40ක් වාන් දමයි! පහත් බිම්වලට රතු නිවේදන!මේ අතර, පවතින මහා වැස්ස හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19ක් මේ වන විටත් පිටාර ගලමින් (වාන් දමමින්) පවතිනවා.
විශේෂයෙන්ම යාන් ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ හදිසියේ විවෘත කෙරුණා.ඉඟිණිමිටිය ජලාශයේ වාන් දොරටු 06ක් තව දුරටත් විවෘතව තබා ඇත්තේ පිටාර ගලන ජල කඳ පාලනය කිරීමටයි.වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමාණකරණ අංශයේ අධ්‍යක්ෂ එච්. එම්. පී එස් ඩී හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ඉදිරි පැය කිහිපය තුළ වැස්ස වැඩි වුවහොත් ජලාශවලින් ජලය නිකුත් කරන ප්‍රමාණයන් ඕනෑම මොහොතක වෙනස් විය හැකි බවයි.
"ජලාශ අවට සහ පහත් බිම්වල වෙසෙන ජනතාව මේ මොහොතේ අතිශය විමසිලිවත්ව සහ සුදානමකින් සිටීම අනිවාර්යයයි!"
ඉදිරි පැය කිහිපය තීරණාත්මක විය හැකි බැවින්, ඔබේ ප්‍රදේශයේත් වැස්ස සහ වතුර මට්ටම ඉහළ යන්නේ නම් වහාම ආරක්ෂිත පියවර ගන්නා ලෙස අපත් ඉල්ලා සිටිනවා.