ඒ අනුව අද (05) ජනාධිපති ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සහ ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු සියලු අංශවල සහභාගීත්වයෙන් පැවැත්වුණු විශේෂ සාකච්ඡාවකින් පසුව ජනතාවට වැදගත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔයාගේ ගෙදර හරි, ඔයා දන්නා කියන අසල්වැසියෙකුගේ ගෙදරක හරි, එහෙමත් නැත්නම් වෙනත් පරිශ්‍රයක ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයට කුණු කන්දල් එකතු කරලා තියෙනවා නම්, ඒ ගැන කෙලින්ම පැමිණිලි කරන්න දැන් විශේෂ මෙහෙයුම් මැදිරියක් සහ ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දීලා තියෙනවා.
ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) වැඩසටහනේ අතිරේක ලේකම් එස්.පී.සී. සුගීශ්වර මහතා පවසන්නේ තමන්ගේ ප්‍රදේශවල මදුරුවන් බෝවන ස්ථාන තිබේ නම් වහාම ඒ ගැන දැනුම් දෙන ලෙසයි.
විශේෂ දුරකථන අංකය: 011-7966366
මෙහෙයුම් මැදිරිය විවෘතව තියෙන වෙලාවල්,
සඳුදා සිට සිකුරාදා දක්වා: උදේ 8.00 සිට හවස 4.00 දක්වා
සෙනසුරාදා: උදේ 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා
මේ අංකයට කතා කරලා ඔයාට ඩෙංගු මදුරුවන් බෝවන තැන් ගැන රහසිගතව පැමිණිලි කරන්න වගේම ඩෙංගු ව්‍යාප්තිය ගැන තොරතුරු දැනගන්නත් පුළුවන්. ඒ වගේම ඔබ දෙන තොරතුරු මත වහාම ක්‍රියාත්මක වෙන්න නිලධාරීන් කණ්ඩායමක් සූදානමින් ඉන්නවා.
මේ ගැන අදහස් දක්වමින් අතිරේක ලේකම්වරයා ඉතාමත් දැඩිව අවධාරණය කළේ, තමන්ගේ නිවස හෝ ආයතන පරිශ්‍රය නිසි ලෙස පිරිසිදුව පවත්වා නොගෙන මදුරුවන් බෝවන ආකාරයට කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවයි.
"නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිම කෙනෙකුගේ තත්වය, තරාතිරම බලන්නේ නැහැ. මේක අනතුරු ඇඟවීමක් හැටියට නෙවෙයි කියන්නේ. නීතිය ක්‍රියාත්මක කරන්න රජය ඉතා තදින් තීරණය කරලා තියෙනවා" යැයි ඔහු එහිදී සඳහන් කළා.