දකුණු පළාත පුරාම ඩෙංගු රෝගය ඉතාමත් වේගයෙන් සහ දරුණු විදිහට පැතිරී යමින් පවතින බවයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එම්.ජී.එස්. පණ්ඩිතරත්න මහතා අනතුරු අඟවන්නේ.
ලැබිලා තියෙන දත්ත අනුව මේ අවුරුද්දේ ගතවුණු මාස 6 ඇතුළත විතරක් දකුණු පළාතෙන් ඩෙංගු රෝගීන් 7,969 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. කණගාටුදායකම දේ තමයි මේ දරුණු උණ රෝගය නිසා මේ වෙද්දී වටිනා ජීවිත 5ක්ම අහිමි වෙලා තියෙන එක. සෞඛ්‍ය අංශ කියන විදිහට දකුණේ ග්‍රාම නිලධාරි වසම් 50කට වඩා වැඩි ප්‍රමාණයක් දැන් "අධි-අවදානම් කලාප" (High Risk Zones) විදිහටයි නම් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම වෙරළ සීමාවේ ඉඳන් කිලෝමීටර් 10ක් ඇතුළත ප්‍රදේශවල තමයි මේ ලෙඩේ දරුණුවටම කැපී පෙනෙන්නේ.
සෞඛ්‍ය නිලධාරීන් කරපු ක්ෂේත්‍ර පරීක්ෂණවලින් හෙළි වුණු මහා මූසල ඇත්තක් තියෙනවා. ඒ තමයි දකුණු පළාතේ නිවාස 100ක් පරික්ෂා කළොත් ඒකෙන් නිවාස 20කම ඩෙංගු මදුරුවෝ බෝවෙන තැන් තියෙන එක! ඒ කියන්නේ හැම ගෙවල් 5කින්ම එකක මදුරුවෝ වගා කරනවා වගේ වැඩක් තමයි වෙන්නේ. මිනිස්සු එකතු වෙන එක වැඩිවීම වගේම හිතුණ හිතුණ විදිහට කුණු කසළ පරිසරයට බැහැර කරන එක තමයි මේකට ප්‍රධානම හේතුව.
මාතර දිස්ත්‍රික්කය 3,573
මාතර නගරය 909
වැලිගම 430
දෙවිනුවර 410
ගාල්ල දිස්ත්‍රික්කය 2,925
ගාල්ල මහනගර සභාව 373
බෝපේ පොද්දල 314
හම්බන්තොට දිස්ත්‍රික්කය1,471
තංගල්ල 334
කටුවන 206
සෞඛ්‍ය අංශ මේ වෙද්දී ඩෙංගු මර්දන වැඩසටහන් ගොඩක් ක්‍රියාත්මක කරගෙන යනවා. හැබැයි දොස්තර මහත්තුරු කියන්නේ රජයෙන් විතරක් මේක කරන්න බෑ, ජනතාවත් උදව් කරන්න ඕනේ කියලා. දැනට සියයට 20ක් වෙලා තියෙන මේ මදුරු කීටයන් ඉන්න නිවාස ප්‍රතිශතය සියයට 5ක් දක්වා අඩු කරගත්තේ නැත්නම්, ඉදිරියට තත්ත්වය මීට වඩා ගොඩක් බරපතළ වෙන්න පුළුවන්.
ඒ නිසා දකුණේ ඉන්න අපේ අය තමන්ගේ ගේ දොර, වටපිටාව පිරිසිදුව තියාගෙන මේ මදුරු උවදුරෙන් බේරෙන්න වගබලාගන්න එක හැමෝගෙම ආරක්ෂාවට හොඳයි!