පසුගියදා තරුණයන් පිරිසකට මඟතොටදී මුණගැසුණු මේ සීයාත් ඒ වගේ කෙනෙක්. ඔහු ඉතාමත් දක්ෂ විදිහට බටනලාව වාදනය කරමින් තරුණයින්ගේ අවධානය දිනාගන්නවා. හැබැයි ඒ අපූරු වාදනයෙන් පස්සේ ඔහු තමන්ගේ ජීවිතය ගැන කියපු කතාව, අද සමාජ මාධ්‍යයේ දහස් ගණනකගේ දෑස් තෙත් කරන්න සමත් වෙලා තියෙනවා.
"මට කන් දෙක පොඩ්ඩක් ඇහෙන්නේ නෑ මහත්තයා..." සීයා තමන්ගේ කතාව පටන් ගත්තේ එහෙම. ඔහු වැඩ කරන තැනදී ඔහුට අනතුරක් වෙලා තියෙනවා..
"අපි තුන් දෙනෙක් ගියා... මන් ගියේ පස්සෙන්. ඉස්සරහින්ම ගිය දෙන්නගේ ඉස්සරහට තමා දෙබර කූඩුව වැටුණේ. ඒක හොඳටම ඇවිස්සුණා. දෙවැනියට ගිය කෙනා දිව්වා. මං ඇහුවා මොක්කුද කියලා... කතාවක් නෑ දිව්වා. මට තේරුණා දෙබරු කියලා. මට ඉතින් ආපහු යන්න බෑ, මාත් ඉතින් දිව්වා. මට ඔළුවටයි, කකුලටයි හැමතැනටම දෙබරු විද්දා. අර දෙන්නා කොහේ ගියාද දැන් නෑ... ගෙදර තිබුණේ කන්ද උඩ, හෙමින් හෙමින් මම ගියා. මම මැරෙන්න ගියා ඒ වෙලාවේ නම්..."
දෙබරුන්ගෙන් බේරිලා ජීවිතේ ජයගන්න හැදුවත්, දෛවය මේ සීයාට දීපු ලොකුම පහර වැදුණේ ඔහුගේ පවුලටයි. සීයාට ගැහැනු දරුවන්ම තුන්දෙනෙක් ඉන්නවා. තුන්දෙනාම කසාද බැඳලා. හැබැයි ලොකු දුවගේ පවුලට වුණු දේ අහද්දී කාගේ වුණත් පපුව කඩන් වැටෙනවා.
"ලොකු දුව බැන්ද කෙනා නැති වුණා... ඉස්පිරිතාලේ යන්න ගිහිල්ලා මගේ බෑනයි, එයාගේ නංගිගේ දුවයි, එයාගේ අම්මයි... ද්‍රයිවරුත් එක්ක පස්දෙනාම විල් එක හැප්පිලා එතනම නැති වුණා..." සීයගේ දෑස්වල කඳුළු පුරවාගෙන ඒ අතීතය මතක් කළා.
ඒ වෙලාවේ එතන හිටපු තරුණයා සීයගෙන් අහනවා, "සීයාගේ නෝනට මොකද වුණේ?" කියලා...
"එයත් නැති වුණා..."
සීයා කෙටි උත්තරයක් දුන්නා. තමන්ගේ ආදරණීය බිරිඳත්, බෑනා ඇතුළු පවුලේ අයත් අහිමි වෙලා, අද මේ සීයා තනිවම බටනලාවක් වයමින් පාරවල් ගානේ ඇවිදිනවා.
මේ දසුන දකිද්දී හිතට දැනෙන්නේ පුදුමාකාර බරක්. පිටතින් හිනාවෙලා, සින්දුවක් කියාගෙන, බටනලාවක් පිඹගෙන හිටියට මිනිස්සුන්ගේ හදවත් ඇතුළේ කොයි තරම් නම් දුක්බර, කටුක ජීවිත කතාවල් හැංගිලා තියෙනවද? ජීවිතය කියන්නේ ඇත්තටම මහා පුදුමාකාර සටනක්.
මුහුණු පොතේ පළ වූ වීඩියෝවක් ඇසුරෙන්