මේ සිදුවීමෙන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටින ලොකු අයියා, ඔහුගේ නිල සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණේ කාගේත් පපුව කෑගහන සංවේදී ලියමනක් සහ කවි පන්තියක්.
ඔහු සිය සටහනෙන් කියා සිටින්නේ තමන් කිසිම දිනක සිය දරුවන්ට (වැඩිහිටි මව්පියන්ට) හිතාමතා සීරීමක්වත් නොකළ අයෙකු බවයි. අදටත් මේ සිදුවීම අදහාගත නොහැකි බව පවසන ඔහු, ඇප ලැබී නිවසට පැමිණි දා සිට හැම තත්පරයකම පසුවන්නේ දැඩි මානසික පීඩනයකින්.
"මගේ ළඟ හිටපු 15 දෙනෙක් ගත්තා... ඇයි එහෙම කරේ කියලා මම කාගෙන් අහන්නද? මේ අහිංසකයෝ කරපු වරද මොකක්ද? මගේ ඇස් දෙකෙන් මේ වගේ දෙයක් දකින්න තරම් මම පව්කාරයෙක් වුණේ කොහොමද?"
මෘත ශරීරාගාරවල තැන්පත් කර සිටි තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් හිත හදාගෙන නිවන් සුව පතන්නටවත් ශක්තියක් නොතිබුණු බව පවසන ඔහු, අවසානයේ ඔවුන් මහපොළොවට පස්වන මොහොතේ මෙන්න මේ වගේ අපූරු කවි පන්තියකින් තමන්ගේ හදවතේ වේදනාව මුදා හැර තිබුණා.
පිපෙනා නෙලුම් මල් වගේ ලස්සනට...
විහිදා සුවඳ පිපුණා මා පහස යට...
ගලනා සෙනේ ගඟ පපු ගැඹුර මත...
මගේ ළඟින් හුරතල් වූ දරු කැලයි නුඹ....
ගෙවිලා ගියත් අවුරුදු දින මාස ගණන්
නොවෙනා අඩුව ආදරයේ හරි මනරම්...
පවරා සතුට හිනහෙන හරි උජාරුවෙන්..
හිටියා ළඟම මගේ සුර කුමාරියන්...
වීලා සරදමක් දෛවයට අනුව....
උදුරා ගියා මගේ රන් දරුකැළ ගින්න....
හරිනා සුසුම් පපුවේ හිරකර හුස්ම...
හදලා හිතක් ඉන්නේ මං කොහොම....
පුරවා මතක පොකුරු පපුවේ රැන්දු....
වීලා නිහඬ නොකියම ගමනක් යනුදෝ....
සිතලා සිතුම් මනසේ පිළිරූ බැන්දු....
මගේ රන් දරුවෝ මහ පොළවේ සැඟවූ...
පතලා නිවන් සුව ඉන්නේ කොහොම මම..
මතකෙට එනවා හැම මොහොතෙම නුඹව මට....
පියලා නෙත් දෙකම මනසින් ඔන්න....
පතනෙමි උතුම් නිවනම දුර නොමවෙන්න..."