හැබැයි ඔන්න ඒ හැම ‘A’ සාමාර්ථ වැස්සක්ම පරද්දලා, මුළු රටකම හදවත් කම්පා කරපු, කාගේත් ඇස්වලට උණු කඳුළු උනපු අතිශය සංවේදී සහ අභිමානවත් ගුරු-සිසු කතාවක් සමාජ මාධ්‍ය හරහා අපිට වාර්තා වෙනවා.
ඒ කතාව පටන් ගන්නේ විභාගයට මෙන්න මෙහේ කියලා මාසයක් විතරක් ඉතිරි වෙලා තිබුණු දවසක. නොදන්නා ගණිත ගැටලුවක් විසඳගන්න බලාපොරොත්තුවෙන් මේ පුංචි දරුවා මේ ගුරුතුමාව හොයාගෙන එනවා. මුලින්ම ගුරුතුමාගේ හිතේ තිබුණේ අකමැත්තක්. "දැන්ම නම් බෑ, හැබැයි කිසිම වගකීමක් ගන්නෙත් නෑ" කියන කොන්දේසිය උඩයි කරන්නම දෙයක් නැති තැන ඔහු මේ දරුවාව බාරගන්නේ. ඒ වෙනකොටත් ඒ දරුවගේ මුළු ලෝකයම අඳුරෙන් වැහිලා තිබුණු වග මේ ගුරුතුමා දැනන් ඉඳලා නැහැ.
ඇත්තම කතාව ගුරුතුමා දැනගන්නේ එයාට උගන්වන්න ලෑස්ති වුණු පළමු දවසේ. "සර්, මට ඔය කළු ලෑල්ල පේන්නේ නැහැ..." කියලා ඒ දරුවා හරිම අහිංසක විදිහට කියද්දී ගුරුතුමාගේ මුළු ඇඟම සීතල වෙලා ගිහින් තියෙනවා. ජීවිතේට නොදැකපු, මුහුණ නොදීපු අභියෝගයක්. දෑස් නොපෙනෙන දරුවෙක්ට ගණිතය උගන්වන්නේ කොහොමද?
මොහොතකට අසරණ වුණු ගුරුතුමාට පන්තිය නතර කරලා එතනින් නැගිටලා යන්නත් හිතිලා තියෙනවා. හැබැයි "මම එහෙම කළොත්, ඒ අසරණ දරුවාගේ මුළු මානසිකත්වයම සදහටම කඩාගෙන වැටෙනවා නේද" කියලා ඔහුගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරලා තියෙනවා.
එතැන් පටන් මේ උදාර ගුරුතුමා තමන්ගේ ගුරු භූමිකාව සම්පූර්ණයෙන්ම වෙනස් කළා. පෙනෙන අයට වඩා නොපෙනෙන ඔහුට "දැනෙන" විදිහට, හරිම සරල, ලස්සන ක්‍රම එකතු කරලා තමන්ගේ ඉගැන්වීම් රටාව අලුතින්ම හැදුවා. දිනපතාම වගේ ළඟ ළඟ පන්ති දාලා, රෑ දවල් නොබලා මේ ගුරුතුමා ඒ දරුවාව ජීවිතේ දිනවන්න තමන්ගේ උපරිමයෙන්ම මහන්සි වුණා.
අන්තිමේදී හැමෝම බලාපොරොත්තු වුණු ප්‍රතිඵල ලේඛනය ආවා. ගුරුතුමාගේ අනිත් හැම දරුවෙක්ම ‘A’ සාමාර්ථ ගනිද්දී, මේ දෑස් නොපෙනෙන ආදරණීය පුතා ගණිතයට ‘C’ සාමාර්ථයක් අරන් තිබුණා....
ගුරුතුමා කියන්නේ, "මට නම් ඒ ‘C’ එක, අර ‘A’ සාමාර්ථ සියල්ලටම වඩා දහස් ගුණයකින් වටිනවා" කියලායි. මොකද ඒක නිකන්ම නිකන් විභාග සමත් වීමක් නෙවෙයි, අඳුරු ලෝකයක ඉඳන් ජීවිතයට සැබෑ අරුතක් සහ වටිනාකමක් එකතු කරපු, අභිමානයෙන් පිරුණු රාජකීය ජයග්‍රහණයක්.