කඳු කඩාවැටිලා, රේල් පීලි යටවෙලා, විනාශ වෙලා තිබුණු දසුන් දැකපු සමහරු හිතුවේ "ආයෙ නම් මේවා හදනවා බොරු" කියලායි.
හැබැයි, මුළු රටක්ම අධෛර්යමත් වෙලා ඉන්න වෙලාවක, අව් වැසි, රැ දවල් නොබලා, තමන්ගේ ජීවිත පවා පරදුවට තබා වැඩ කරපු අපූරු මිනිසුන් පිරිසක් නිසා ආයෙමත් අපිට ඒ සුන්දර කඳුකර දුම්රිය ගමන යන්න අවස්ථාව උදාවෙලා තිබෙනවා.
පසුගිය දිනවල ඇතිවූ දරුණු කාලගුණ තත්ත්වය සහ "දිට්ඨා" සුළි කුණාටුව හේතුවෙන් අඹේවෙල සහ නානුඔය අතර සුන්දර දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුවී තිබුණා. පස් කන්ඩි කඩාවැටී දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණේ උඩරට යන එන දහස් ගණන් මගීන් මෙන්ම සංචාරකයින්ද දැඩි අපහසුතාවයට පත්කරමින්.
නමුත් මේ බිඳ වැටුණු දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ භාරදූර කාර්යය උරහිසට ගත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් ඇතුළු පිරිස සැබෑම වීරයින් පිරිසක් බවට පත්ව තිබෙනවා. හරි හැටි වැටුපක්වත්, අතිකාල දීමනාවක්වත් ගැන නොසිතා, මහ වැස්සේ ගැහෙමින්, රෑ දවල් වෙහෙස මහන්සි වී ඔවුන් මේ වන විට අඹේවෙල - නානුඔය අතර දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු සාර්ථකව අවසන් කර තිබෙනවා.
රටක් වටිනා මේ මිනිසුන්ගේ අපිරිමිත කැපවීමට හදවතින්ම ගරු කරන ගමන්, නැවතත් සුන්දර කඳුකර දුම්රිය සංචාරයක අත්දැකීම විඳගන්න දැන් ඔබටත් අවස්ථාව උදා වී තිබෙනවා.