වයස අවුරුදු 11න් පහළ ලෝක මේස පන්දු (Table Tennis) ශ්‍රේණිගත කිරීම්වල ලෝකයේම ප්‍රථම ස්ථානය හිමිකරගෙන සිටින ශ්‍රී ලංකාවේ තාවි සමරවීර ජාත්‍යන්තර තරඟාවලි රැසකදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගනිමින් සිය යුරෝපා තරඟ සංචාරය නිමා කර අද (ජූනි 18) උදෑසන දිවයිනට පැමිණියා.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 11 හැවිරිදි තාවි සමරවීර, සිය මව සමඟ අද උදෑසන 08.45ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් QR-664 දරන ගුවන් යානයෙන් කටුනායක වෙත පැමිණි අතර එහිදී ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.
ලෝක ශ්‍රේණිගත කිරීම් තරඟාවලි 3ක් ඉලක්ක කරගනිමින් පැවැති මෙම යුරෝපා සංචාරයේදී තාවි ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසය සහමුලින්ම අලුත් කිරීමට සමත් වුණා.
කොසෝවෝ රාජ්‍යයේදී රන් සහ රිදී- කොසෝවෝ හි පැවැති තරඟාවලියේ දී, ලාංකික ක්‍රීඩකයෙකු ලෙස ප්‍රථම වතාවට වයස අවුරුදු 11න් පහළ සහ 13න් පහළ යන වයස් කාණ්ඩ දෙකෙහිම අවසාන මහා තරඟ සඳහා සුදුසුකම් ලබා, 11න් පහළ අංශයෙන් රන් පදක්කම සහ 13න් පහළ අංශයෙන් රිදී පදක්කම දිනා ගත්තා.
නෝර්වේ රාජ්‍යයේදී ලෝකඩ- නෝර්වේ හි පැවැති තරඟාවලියේදී වයස අවුරුදු 13න් පහළ අංශයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට තාවි සමත් වූ අතර, තමන්ට වඩා වයසින් වැඩි ක්‍රීඩකයන් තරඟ වැදුණු 15න් පහළ අංශයේ හොඳම ක්‍රීඩකයන් 08 දෙනා අතරට පැමිණීමට ද මේ පුංචි දක්ෂයා සමත් වුණා.
මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 11න් පහළ අංශයේ ලෝකයේම පෙරමුණේ පසුවන තාවි සමරවීර, දකුණු ආසියානු කලාපයේ වයස අවුරුදු 11න් පහළ සහ 13න් පහළ යන අංශ දෙකෙහිම ප්‍රථම ස්ථානය හිමිකරගෙන සිටින සැබෑ වීරයෙක්.