ව්‍යාජ වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් රවටා කෝටි 05 කට ආසන්න මුදල් වංචාවක් සිදු කළ කාන්තාවක් හොරණ, ගුරුගොඩ ප්‍රදේශයේදී ඊයේ (17) අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසනවා.
මෙසේ අත්අඩංගුවට පත්වූයේ හොරණ, ගුරුගොඩ, පෝරුවදණ්ඩ, පර්ත් පැරඩයිස් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි 52 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සැකකාරිය සන්තකයේ තිබී වෙද නලාවක්, ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ ව්‍යාජ සහතිකයක්, රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස සකස් කළ ව්‍යාජ හැදුනුම්පතක පිටපතක් ඇතුළු ව්‍යාජ ලේඛන රැසක් ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
රජයේ වෛද්‍යවරයකුට අයත් කිසිදු සහතිකයක් මොහු සතුව නොතිබූ බවද පොලිසිය පවසනවා.
මෙම සැකකාරිය වෛද්‍ය නිල ඇඳුමෙන් සැරසී වෙද නලාව පැලද වෛද්‍ය නිල ලාංඡනය මෝටර් රථයේ අලවාගෙන සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.
කුරුණෑගල පදිංචිකාරියක වන මෙම සැකාකරිය අවිවාහක අයෙක් වන බවත්, දැනට පදිංචිව සිටි මෙම හොරණ, ගුරුගොඩ ප්‍රදේශයේ නිවෙස විදේශ රටක පදිංචි ස්වාමීන්වහන්සේ නමකට අයත් සුවිසල් නිවෙසක් වන බවත් පොලිසිය පවසනවා.
මැය එම නිවෙසේ ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බවත්, බටහිර හා දේශීය වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් විදේශ රටවලින් ඖෂධ වර්ග ආනයනය කරන නියෝජිතයෙකු ලෙස කටයුතු කර ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.
මෙම සැකකාරිය රේගුව මගින් ඖෂධ මුදා ගැනීම සදහා ආදායම් බදු ගෙවීමට යැයි පවසමින් හිතවතුන් හරහා හඳුනාගත් පුද්ගලයින්ගෙන් මෙලෙස ලක්ෂ ගණනින් මුදල් වංචා කර ඇති බවත් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.
මේ අයුරින් හොරණ, ගල්එදඩුගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 98ක මුදලක් ද, හොරණ, මුණගම, නර්තනගල ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ද ලබාගෙන ඇති බවට සති කීපයකට පෙර හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි ලැබී තිබූ බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන විට ඇය විසින් පුද්ගලිකව නීතිඥවරයෙකු මගින් තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට දන්වා හොරණ අධිකරණයෙන් අපේක්ෂිත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබූ බවත්, මහේස්ත්‍රාත්වරිය විසින් එම අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර වහාම ඇයව අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉකුත් (08) දා නියෝග කළ බවත් පොලිසිය පවසනවා.
එම සිද්ධියෙන් පසු මෙම සැකකාරිය සිය පදිංචි නිවෙසින් පලා ගොස් සැඟවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම සැකකාරිය මුදල් වංචා කළ බව කියන පොකුණුවිට හා මිල්ලනිය ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනකුගෙන් ද මේ වන විට පැමිණිලි ලැබී ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙම සැකකාරිය කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී වාහනවලින් ගමන් බිමන් යමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල වෛද්‍ය සායන පවත්වමින් ජනතාව මුලා කර ඖෂධ ලබා දී ඇති බවද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
සැකකාරිය විසින් විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 50, 100,160වැනි මුදල් ලබාගෙන කාලයක් තිස්සේ මෙම වංචාව සූක්ෂමව සිදු කර ඇති බවට මේ වන විට හෙළිව ඇතැයි පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
හොරණ සහකාර පොලිස් අධිකාරී බී. එන්. ඒකනායකගේ උපදෙස් පරිදි හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික නවරත්නගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන් වන (58653) ජයන්ත, (71385) සංජීව, (71389) අසංක, කාන්තා පොලිස් සැරයන් (2015) දිලීපා යන නිලධාරින් විසින් මේ පිළිබඳ විමර්ශන සිදු කරනවා.
#HiruGossip #HiruTV #Hiru #HiruDigital