පසුගිය ජූනි 12 වැනිදා පාන්දර කොළඹින් සිඩ්නි බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 606 (Airbus A330) යානයේ ගමන් ගත් ලාංකිකයෙකු මුහුණ දුන් ඒ බියකරු, එහෙත් අතිශය සංවේදී සැබෑ අත්දැකීමක් සිය මුහුණුපොතට එක් කර තිබෙනවා.
පිටත්වන විට කොළඹට පුදුම සැරට වැසි වසිමින් තිබූ බවයි ඔහු පවසන්නේ. විනාඩි 40ක් විතර උඩුගුවනේ පියාසර කරමින්, ලංකාවේ ගොඩබිම් සීමාවත් පහුකරලා මහා සාගරයට උඩින් යද්දී ඔවුන් දෙදෙනාටම පොඩි නින්දක් ගොස් තිබුණා.
එක පාරටම "ඩෝං" ගා ඇසුණු මහා ශබ්දයක් සමඟ මුළු ප්ලේන් එකම ගැස්සී ගොස් තිබෙනවා. ජනේලය අසල සිටි ඔහුගේ බිරිඳ, කුමාරි දෙසින් ජනේලයෙන් එළිය බලද්දී ඔහු දැක ඇත්තේ ඇඟ කිළිපොලා යන දසුනක්. යානයේ වම් පැත්තේ එන්ජිම විශාල ලෙස ගිනි ගනිමින් තිබී තිබෙනවා.
ගුවන් යානයක තටු (Wings) තුළ තමයි ඉන්ධන පුරවා තිබෙන්නේ. ඒ මහා ඉන්ධන ටැංකියට යටින් තියෙන එන්ජිම ගිනි ගනිද්දී, ඕනෑම මොහොතක යානය ගිනි බෝලයක් වී පුපුරා යා හැකි බව ඔහුට ක්ෂණිකව වැටහී තිබුණා.
"මට ක්ෂණිකව තේරුනා අපි දෙන්නට තව විනාඩි කීපයක් විතරයි ජිවත් වෙන්ට තියෙන්නේ කියලා..." ඔහු පවසනවා.
මේ කිසිවක් හරිහැටි නොදත් බිරිඳ "කොහෙන්ද ඒ ගින්දර එන්නේ?" කියා අසද්දී, ඇය බය වෙයි කියා සිතූ මේ ආදරණීය සැමියා, "Don't worry Ammi, it is OK" යැයි පවසා ඇයව තමාට තවත් කිට්ටු කරගෙන හිස පිරිමැද තිබෙනවා. ඇයට බයක් නොදැනෙන්නට ඇයව තුරුළු කරගනිද්දී ඇයට නැවතත් නින්ද ගොස් තිබුණා.
මොන මොහොතේ හෝ මහා පිපිරීමකින් ජීවිතය අවසන් වනු ඇතැයි සිතූ ඔහු, කලබල නොවී බුදු දහම මෙනෙහි කරමින් මරණයට ලෑස්ති වී තිබෙනවා. මියයන්නට යන බව දැනුණත් හිතට කිසිදු බයක් හෝ දුකක් නොදැනුණු බවයි ඔහු ලියන්නේ.
යානය ක්‍රමයෙන් පහළට ඇදී එද්දී, විනාඩි කිහිපයකින් ආශ්චර්යමත් ලෙස එන්ජිමේ ගින්දර නැවතී තිබෙනවා. ඉන්පසු යානය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර, මඳ වේලාවකින් ගුවන් නියමුවා (Pilot) නිවේදනය කරමින් පවසා ඇත්තේ, යානයට අකුණු සැර වැදීමෙන් එක එන්ජිමකට හානි සිදු වූ බවත්, ඒ නිසා වහාම ආපසු කොළඹ බලා යන බවත්ය.
එක එන්ජිමක් පමණක් ක්‍රියාත්මක වෙද්දී, පැයක පමණ බියකරු ගමනකින් පසු යානය ආරක්ෂිතව කටුනායකට ගොඩබස්වා තිබෙනවා. යානය පොළොවේ වැදෙත්ම, සිය ජීවිත බේරාදුන් නියමුවා ඇතුළු කාර්ය මණ්ඩලයට කෘතඥතාව පළ කරමින් මුළු ප්ලේන් එකේම සිටි මගීන් මහ හඬින් අත්පුඩි ගසා තිබුණා.
අද වන විට ඔවුන් දෙදෙනා සුවසේ සිඩ්නි බලා පැමිණ සිටිනවා. "මේක ලියනකොට මම සිඩ්නි වල ගෙදර ඇඳේ. කුමරිනම් තාමත් මට එහා පැත්තේ නිඳි" යනුවෙන් ඔහු සිය සංවේදී සටහන අවසන් කර තිබුණේ කාගේත් නෙතට කඳුළක් එක් කරමින්.
මුහුණු පොතේ සටහනක් ඇසුරෙන්