නැවත වතාවක් ඩෙංගු මාරයා ඔළුව උස්සලා තියෙනවා කියලයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ. විශේෂයෙන්ම දරුවන්ට උණ හැදිලා නම්, ගෙදරට වෙලා පැණි පොව පොව ඉන්නේ නැතුව ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන්න කියලා ළමා රෝග විශේෂඥ වෛද්‍ය විරාජ් ජයසිංහ මහතා දැඩිව අවධාරණය කරනවා.
දරුවාට උණ හැදිලා පැය 48ක්, ඒ කියන්නේ දවස් දෙකක් ගත වුණාට පස්සෙත් උණ බැස්සේ නැත්නම් අනිවාර්යයෙන්ම දරුවාගේ රුධිර පරීක්ෂාවක් (Blood Test) සිදුකළ යුතුම බව වෛද්‍යවරයා අද (16) කොළඹ තිබුණු විශේෂ මාධ්‍ය හමුවකදී දැනුම් දුන්නා. මේ දවස්වල ඩෙංගු අවදානම ඉහළ ගිහින් තියෙන නිසා සාමාන්‍ය උණක් කියලා හිතලා සැහැල්ලුවට ගන්න එපා කියලයි ඔහු දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ.
ඊළඟ භයානකම කතාව තමයි, මේ ඩෙංගු මදුරුවන් වැඩිපුරම බෝවෙන්නේ වෙන කොහේවත් නෙවෙයි, අපේ දරුවන් ආරක්ෂිතයි කියලා හිතන පාසල් පද්ධතිය ඇතුළේ වීම! සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවට එක්වෙමින් මේ බව හෙළි කළා.
"දැනට කරලා තියෙන පරීක්ෂාවලට අනුව, පාසල් ආශ්‍රිතව තමයි ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන විශාල වශයෙන් වාර්තා වෙලා තියෙන්නේ..." යැයි අමාත්‍යවරයා එහිදී කියා සිටියා.
මේ බිහිසුණු තත්ත්වය පාලනය කරන්න, අධ්‍යාපන අමාත්‍යාංශයත් වහාම ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ අනුව ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව, ඉදිරි පියවරක් ගැනීමට තීරණය කර තිබෙනවා.
දිනය- අනිද්දා
ඉලක්කය- දිවයිනේ සියලුම පාසල්, පෙරපාසල් සහ අධ්‍යාපන ආයතන
වැඩසටහන- විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
ඉතින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කවුරු කවුරුත් ඇස් ඇරලා ඉන්න ඕනේ වෙලාවක් මේක. පාසල විතරක් නෙවෙයි, තමන්ගේ ගෙවත්තත් මදුරුවන්ට බෝවෙන්න බැරි විදිහට පිරිසිදුව තියාගන්න එක හැමෝගෙම වගකීමක්! දරුවාට උණ හැදුණොත් පරක්කු නොකර වෛද්‍ය උපදෙස් ගන්නත් අමතක කරන්න එපා!