පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් කළ මේ අනතුර එරට ගුවන් හමුදාවට අයත් B-52 Stratofortress වර්ගයේ බෝම්බ හෙලන ගුවන් යානයක් වෙනවා.
දක්ෂිණ කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරේදී (Edwards Air Force Base) අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් අට දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම අනතුර පිළිබඳ නවතම තොරතුරු මෙසේ දැක්වෙනවා.
ඊයේ පෙරවරු 11:20 ට පමණ මෙම යානය ගුවන්ගත වූ වහාම ධාවන පථය අසල කාන්තාර කලාපයට කඩා වැටී ගිනිගෙන තිබෙනවා. යානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර කිසිවෙකුත් බේරී නොමැති බව ගුවන් හමුදාව තහවුරු කළා. මෙය සාමාන්‍ය පරීක්ෂණ මෙහෙයුමක් (Routine test mission) වූ අතර, යානයේ රේඩාර් පද්ධතිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියකට අදාළව මෙම පරීක්ෂණ පියාසර කිරීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
යානයේ සිටි 8 දෙනා අතර මිලිටරි නිලධාරීන්, රජයේ සිවිල් සේවකයන් සහ බෝයින් (Boeing) සමාගමේ පුද්ගලික කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකුද සිට ඇති බව බලධාරීන් ප්‍රකාශ කරන්නේ. මෙම දරුණු අනතුරත් සමඟ එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරේ ගුවන් පථය තාවකාලිකව වසා දමා ඇති අතර, එහි සිදුවන අනෙකුත් සියලුම ගුවන් ගමන් වෙනත් ස්ථාන වෙත හරවා යැවීමට පියවර ගෙන තිබෙනවා.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මූලික පරීක්ෂණ සඳහා දින 30ක් පමණ ගතවනු ඇතැයි පැවසුණද, ගුවන් හමුදා බලධාරීන් පවසන්නේ මෙම සංකීර්ණ අනතුර පිළිබඳ සම්පූර්ණ විමර්ශන වාර්තාවක් ලබා ගැනීමට මාස 6කට ආසන්න කාලයක් ගතවිය හැකි බවයි. මෙය 1982 වසරෙන් පසු අමෙරිකානු B-52 යානයක් සම්බන්ධයෙන් සිදු වූ දරුණුතම සහ වැඩිම පිරිසක් මියගිය ගුවන් අනතුර ලෙස වාර්තා වෙනවා...