ලෝක ප්‍රකට MLB (Major League Baseball) තරුවක් වන යාඩියර් මොලිනා (Yadier Molina), ඔහුගේ පවුලේ උදවිය සහ හිතවතුන් පිරිසක් රැගෙන ඒම සඳහා ටෙක්සාස් බලා පියාසර කරමින් තිබූ සුඛෝපභෝගී පුද්ගලික ජෙට් යානයක් ඩොමිනිකන් ජනරජයේ ලා රොමානා ජාත්‍යන්තර ගුවන් තොටුපළට හදිසියේ ගොඩබෑමට යාමේදී දරුණු අනතුරකට ලක්ව තිබෙනවා.
යානය ගොඩබෑමත් සමඟම ගිනි බෝලයක් බවට පත්වෙමින් පුපුරා ගොස් ඇති අතර, යානයේ ගමන් ගත් අමෙරිකානු ජාතික ප්‍රධාන ගුවන් නියමුවා සහ සහාය නියමුවා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගල්ෆ්ස්ට්‍රීම් G200 (Gulfstream G200) වර්ගයට අයත් මෙම සුඛෝපභෝගී ජෙට් යානය පුවටෝ රිකෝ සිට පැමිණ, ලා රොමානා ගුවන් තොටුපළෙන් ඉන්ධන ලබාගෙන අමෙරිකාවේ ටෙක්සාස් බලා පියාසර කිරීමටයි සූදානම්ව තිබුණේ. කෙසේ වෙතත්, ගුවන් ගත වී සුළු වේලාවකින් යානයේ හටගත් දරුණු යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් නියමුවන් විසින් හදිසි තත්ත්වයක් (Emergency) ප්‍රකාශයට පත් කරමින් නැවතත් ගුවන් තොටුපළ වෙත යානය හැරවීමට කටයුතු කර තිබෙනවා.
නමුත් අවාසනාවන්ත ලෙස ධාවන පථයට යානය ස්පර්ශ වනවාත් සමඟම පාලනයෙන් ගිලිහී ගොස්, ආරක්ෂිත වැටවල් ද කඩාගෙන තණබිම් කලාපයකට ඇදී ගොස් විශාල දුම් රොටු නගමින් ගිනිබත් වී තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ යානයේ කිසිදු මගියෙකු ගමන් කර නොමැති අතර, නියමුවන් දෙදෙනා පමණක් එහි සිට ඇති බව ඩොමිනිකන් සිවිල් ගුවන් සේවා ආයතනය තහවුරු කරනවා.
තමන් සහ තම පවුලේ අය රැගෙන ඒමට ආ යානය මෙලෙස අනතුරට පත්වීමෙන් MLB සුපිරි ක්‍රීඩක යාඩියර් මොලිනා දැඩි කම්පනයට පත්ව තිබෙනවා. ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සංවේදී සටහනක් තබමින් මෙසේ පවසා තිබුණා.
"මියගිය ගුවන් නියමුවන් දෙදෙනාට සහ ඔවුන්ගේ පවුල්වල අයට මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිනවා.. මේ යානය පැමිණියේ ටෙක්සාස්වල ඉන්න මාවයි, මගේ පවුලේ අයවයි, යාළුවෝ හැමෝවමයි ආපහු පුවටෝ රිකෝ වෙත රැගෙන යන්නයි. සිදුවූ දේ අදහාගන්නත් බෑ, හදවත නතරවුණා වගෙයි!"
අනතුර සිදුවූ අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය පුරා දැඩි ලෙස සංසරණය වෙමින් පවතිනවා. සිද්ධිය සම්බන්ධයෙන් ඩොමිනිකන් ගුවන් සේවා බලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.