මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකයේ සේවය කළ 40 හැවිරිදි තිදරු පියෙක්.
පසුගිය දිනක නිවස පිටුපස තිබූ කසළ වලට පෙට්‍රල් දමා ගිනි තැබීමට උත්සාහ කිරීමේදී ඔහු නොසිතූ මොහොතක එම ගිනි මැළයටම ඇද වැටී තිබෙනවා. අනතුරෙන් බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලැබූ ඔහු දින 10 ක් තංගල්ල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියදීයි මෙලෙස අවසන් හුස්ම හෙළා තිබෙන්නේ.
මේ සම්බන්ධයෙන් පැවැත්වුණු හදිසි මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ 14 හැවිරිදි වැඩිමහල් පුතු දුන් සාක්ෂිය ඇත්තටම දෑස් කඳුළින් තෙත් කරන සුළුයි...
"එදා ඉස්කෝලේ වෙසක් සැරසිලි කරන නිසා මම ගෙදර හිටියේ. අසල්වැසි යාළුවෙක්ගේ ගෙදර ගිහින් වෙසක් කූඩු අලවන්න උදව් කරලා ඉද්දි අම්මා මට කෝල් කරලා කිව්වා 'තාත්තා කෝල් එකට උත්තර දෙන්නේ නැහැ, පොඩ්ඩක් හොයලා බලන්න' කියලා. මම ගෙතුළ හෙව්වත් තාත්තා හිටියේ නැහැ.
පස්සේ මම වත්තේ පිටුපස කුණු වළ ළඟට ගිහින් බලද්දී තාත්තා කුණු වළ තුළ පිළිස්සෙමින් ඉන්නවා දැක්කා! තාත්තගේ ඇඳුම්වලින් ඒ වෙලාවෙත් දුම් දම්මින් තිබුණා. මම වහාම දුවලා ගිහින් මාමාලට කිව්වා. මාමාලා ඇවිත් තාත්තගේ සිරුරට වතුර ගහලා ත්‍රිරෝද රථයකින් රෝහලට ගෙනිච්චා..."
මෙම මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ බිරිඳ සහ සහෝදරයෙකු සාක්ෂි ලබා දී තිබෙනවා.
දිවයින පුවත්පත ඇසුරෙන්