පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙන ඒ සිද්ධිය ගැන මේ වෙනකොට ඇසෙන්නේ මෙන්න මේ වගේ කතාවක්.
හොරණ බටගොඩ සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්නෙන් එහි සිටි 12 දෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ඉසුරු අනුශ්ක පෙරේරා නොහොත් "ලොකු අයියා" නමැති එම වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂවරයා, මෙම 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හොරණ මහෙස්ත්‍රාන් ලක්මිණි විදානගමගේ මහත්මිය ඊයේ (04 වැනිදා) නියෝග කළා. මෙම අනතුර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, ඉතාම අනාරක්ෂිත ලෙස ආබාධිත වැඩිහිටියන් රඳවා තැබීම සහ අපරීක්ෂාකාරී අන්දමින් කටයුතු කිරීම ඇතුළු තවත් චෝදනා කීපයක් සම්බන්ධයෙන් මෙම වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
අනතුර සිදුවන අවස්ථාවේ වැඩිහිටි නිවාසයේ සිටි සේවකයන් තිදෙනකු පළාගොස් ඇති අතර පොලිසිය ඔවුන් සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙතෙක් සිදු කළ විමර්ශනවලට අනුව හෙළි වී ඇත්තේ වැඩිහිටි නිවාසයට ආධාර ලෙස ලැබුණු මෙට්ට 100 කට අධික ප්‍රමාණයක් ගබඩා කර තිබූ ස්ථානයෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි. කෙසේ වෙතත් මෙම වැඩිහිටි නිවාසයේ අක්‍රමිකතා සිදුවී ඇත්ද යන්න ගැන වෙනමම විමර්ශනයක් පවත්වන බවයි වාර්තා වෙන්නේ.
මෙම අනතුරින් සිද්ධිය වූ ස්ථානයේම වැඩිහිටියන් දස දෙනෙකු දැඩි ලෙස පිළිස්සී මියගොස් සිටි අතර අනෙක් දෙදෙනා මියගොස් ඇත්තේ රෝහල් ගත කිරීමෙන් පසුවයි. මෙම ගින්න හටගන්නා අවස්ථාවේ වැඩිහිටි නිවාසයේ ගැහැනු සහ පිරිමි පුද්ගලයන් 72 ක් සිට ඇති අතර ඉන් 60 දෙනෙකු ප්‍රදේශ වාසීන් සහ පොලිසිය විසින් බේරාගෙන තිබුණා.
පොලිසිය සැක පළ කරන්නේ කලහකාරී ලෙස හැසිරෙන මන්දමානසික වැඩිහිටියන් කීපදෙනෙකුම ඇඳවල බැඳ දමා තිබෙන්නට ඇති බවයි. ගින්න හටගත් අවස්ථාවේ ඔවුන්ට ඉන් පිටවී යෑමට නොහැකි වී ඇත්තේ ඔවුන් බැඳදමා සිටි නිසා බවට පොලිසිය සැක පළ කරනවා.
මේ සම්බන්ධයෙන් ද විමර්ශනයන් මේ වන විට ක්‍රියාත්මක කර ඇති අතර, මෙම වැඩිහිටි නිවාසයේ සිටි වැඩිහිටියන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අයුරින් සිය ඉදිරිපත් කිරීම් කළ නිසා ඔවුන් සමාජ මාධ්‍ය අතර විශාල ජනප්‍රියත්වයක් ලබා සිටි පිරිසක් බව ද වාර්තා වෙනවා.
අඟුරුවාතොට පොලිසිය විමර්ශන පවත්වාගෙන යනවා.
ගින්න ඇති වූ සැණින් වහා ක්‍රියාත්මක වූ පොලිසිය, විශේෂ කාර්ය බළකාය, හොරණ නගර සභා ගිනි නිවීම් ඒකකය, සහන කණ්ඩායම් සහ ප්‍රදේශ වාසීන් එක්ව එහි සිටි වැඩිහිටියන් 51 දෙනෙකු පමණ නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත්ව ඇති අතර ඔවුන් පිරිස එම නිවාසය ඉදිරිපිට ඇති බටගොඩ ප්‍රාථමික විද්‍යාලය වෙත රැගෙන ගොස් තිබූ අතර මේ වනවිට ශ්‍රී ලංකා යුද හමුදාවේ බස් රථයකින් ඔවුන් ගල්පාත ප්‍රදේශයේ වෙනත් වැඩිහිටි නිවාසයකට රැගෙන යාමට කටයුතු කර තිබුණා.
මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුම අදහස් ප්‍රකාශ කළේ සිය අනන්‍යතාව හෙළි නොකරන බවට පොරොන්දු වීමෙන් පසුවයි.
"මම දකිනකොට ගින්න පටන් අරන් විනාඩි දහයක් පහළොවක් වෙලා. නිවාසේ සේරම දොර ජනෙල් වහලා තිබුණේ. ඉස්සරහම දඟල දඟල වැඩිහිටියෙක් කෑගගහ හිටියා. මේ නිවාසයේ බිමට මෙට්ට දාලා තමයි මේ අය ඉඳලා තියෙන්නේ.
මර ළතෝනි තිය තිය මිනිස්සු පණපිටින් පිච්චෙනවා මාගේ ජීවිතේට මම දැක්ක පළවෙනි අවස්ථාව. මට කලන්තෙ දාන්න වගේ ආවා. දෑස් නිලංකාර වුණා.
ඇවිදින්න බැරි තුන් හතර දෙනෙකුත් හිටියා. මගේ කෑගැහිල්ලට අසල් වැසියෝ ආවා. අපි කොහොමින් හරි පිටිපස්ස පැත්තෙන් ගිහිල්ලා හරිම අමාරුවෙන් තමයි හත් අට දෙනෙක් බේරගන්නේ. ඒ වෙන කොටත් මනුස්සයෙකුට කිට්ටු වෙන්නත් බැරි තරම් රස්නෙන් ගින්දර ඇවිලෙනවා. අපි බේරගෙන මිදුලට ගෙනාව එක ගෑනු කෙනෙක් අනේ මගේ මාලේ ගේ ඇතුළේ වැටිලා කියලා ආපහු ගේ ඇතුළට දුවලා ගිහින් තිබුණා. එයත් ඉතින් මාලේ හින්දා පිච්චිලා යන්නම ගියා. ගෑස් එකත් පුපුරපු කතාවකුත් තිබුණා.
ගින්න පැවති අවස්ථාවේ හොරණ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති බව ප්‍රදේශවාසීහු පවසනවා. ප්‍රදේශ වාසී තරුණ පිරිස් සහ ගිනි නිවීම් ඒකකයේ සහ පොලිස් නිලධාරීන් ජීවිත අවදානම පවා නොතකා ඇවිළෙන නිවසේ දුම් කවුළුව උඩට නැග මහත් පරිශ්‍රමයක් දරා ජල බට වලින් ගින්න නිවීමට උත්සාහ කර තිබුණා.

දිවයින පුවත්පත ඇසුරෙන්.