ඔවුන්ට ආදරය කරන දෙනෝ දාහක් දෙනාගේ දුක් සෝ සුසුම් මැද මේ කතාව ඇසෙන්නේ වෙනස්ම මතක පෙළක් ගැනයි.
" අනේ තාත්තේ ඔයා කොහෙද ඉන්නේ.. වෙසක් බලලා උදේ එනවා කියලා ගියේ..ඇයි අපිව දාලා ගියේ මට දරාගන්න බෑ තාත්තේ.." මීගොඩට උදා වූ වෙසක් අසිරිය කදුළු ගංගාවක් කළ බේබදු රියැදුරකු විසින් සිදු කළ මාරක රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පියකුගේ දියණියක් දරාගත නොහැකි වේදනාවෙන් හෝමාගම රෝහල දෙවනත් කරමින් විලාප නැගුවා.
තම පියාගේ හදිසි වියෝව දරාගත නොහැකිව මෙම දියණිය හඬා වැලපුණු අයුරු හදකම්පා කරවන සුළුවුණා.
රාත්‍රී ආහාර ගැනීම සඳහා දන්සල් පෝලිමේ සිටි අහිංසක මිනිසුන් මතින් කැබ් රථයක් ධාවනය කළ පුද්ගලයා අධික ලෙස බීමතින් සිට ඇති බව විමර්ශන වලින් හෙළි වී ඇත.
මීගොඩ මංසන්ධියේ රොටි දන්සල ඉදිරිපිටදී ඊයේ 01 වැනිදා අළුයම සිදු වූ ඛේදවාචකයෙන් 15 හැවිරිදි දැරියක ඇතුළු හය දෙනෙක් මිය ගොස් තවත් 07 දෙනෙක් තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.
වෙසක් අසිරිය මහා ඛේදවාචකයක් කරමින් මුළු රටම කම්පනයට පත් කළ මෙම කැබ් රථයේ රියැදුරු පිළියන්දල ප්‍රදේශයේ ගරාජයක් පවත්වාගෙන යන 42 හැවිරිදි අයකු බව විමර්ශන වලින් හෙළි වී ඇත.
අනතුරින් පසු අත්අඩංගුවට ගත් කැබ් රථ රියැදුරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ කිසියම් ස්ථානයකදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග පෙරේදා මධ්‍යම රාත්‍රිය වනතුරු මත්පැන් පානය කර ඇති බව අනාවරණය වී ඇත. පසුව මෙම තිදෙනා කැබ් රථයේ නැගී අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට අධික වේගයෙන් කැබ් රථය පදවාගෙන ගොස් ඇත.
පියවි සිහිය ඉක්ම වන තරමට මත්පැන් පානය කර සිටි බව කියන කැබ් රථ රියැදුරු අතරමගදී පුද්ගලයන් දෙදෙනෙකු ද හප්පාගෙන අධික වේගයෙන් ඉදිරියට ධාවනය කර තිබෙනවා.
ඒ වන විට මධ්‍යම රාත්‍රී 12.30 පසුවී තිබූ අතර මීගොඩ මංසන්දියේ රොටි දන්සලක් පවත්වමින් තිබී ඇත. වෙසක් සිරි නරඹා කුසගින්නේ සිටි සියයකට ආසන්න පිරිසක් කුස පුරවා ගැනීමට තම වාරය එනතුරු මෙම රොටි දන්සල ඉදිරිපිට මාර්ගයේ පෝලිම් ගැසී සිටියා.
ඒ අවස්ථාවේ මාර්ගයේ වාහන තද බදයක් ද පැවැතුණා. දන්සලට පැමිණෙන පිරිස් මාර්ගය හරහා ගමන් කරමින් සිටීම නිසා එම වාහන තද බදය නිර්මාණය වී තිබී ඇති අතර, මේ අවස්ථාවේ අධික වේගයෙන් කැබ් රථය පදවාගෙන පැමිණි බීමත් පුද්ගලයා දන්සල ආසන්නයේදී එහි වේගය අඩු කර තිබෙනවා.
දන්සලේ රැස්ව සිටි පිරිස නිසා මාර්ගයේ වාහන තද බදය නිර්මාණය වී තිබෙනු දුටු බීමත් රියැදුරු දැඩි ලෙස කෝපයට පත්ව පෝලිමේ රැඳී සිටි පිරිස මතින් රථය වේගයෙන් ධාවනය කර ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබුණා.
ඒ අවස්ථාවේ රැස්ව සිටි පිරිස කැබ් රථය නතර කිරීමට උත්සාහ කළද එය නොතැකූ රියැදුරා අධික වේගයෙන් හෝමාගම දෙසට රථය ධාවනය කර තිබෙනවා. මෙම අනතුර සැලවූ වහාම ක්‍රියාත්මක වූ හෝමාගම සහ ඒ අවට පොලිස් ස්ථාන වල රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අහිංසක මිනිසුන් යටකර පලා යමින් තිබූ කැබ් රථය ලුහු බැඳ තිබුණා.
රථය නතර කිරීමට අවස්ථා කිහිපයකදීම පොලිසිය නියෝග කර ඇතත් බීමත් රියැදුරු එය නොනවත්වා ධාවනය කර තිබෙනවා.
හෝමාගම ප්‍රදේශයේදී පොලිස් යතුරුපැදි ඒකකයේ නිලධාරීහු කැබ් රථය පසුකර ගොස් ගිනි අවි පෙන්වා රථය නතර කර ගැනීමට කටයුතු කළා.
ඒ වන විට දන්සලේ සිටි තරුණයන් පිරිසක් ද යතුරු පැදි සහ තවත් වාහන කිහිපයකින් පැමිණ කැබ් රථය වට කර ඇති අතර කෝපයට පත් පිරිස කැබ් රථ රියැදුරුට සහ රථයට පහරදීමට සූදානම් වෙද්දී පොලිස් නිලධාරීහු එය වළක්වා රියැදුරු අත්අඩංගුවට ගත්තා.
බීමත් රියැදුරු හා කැබ් රථයේ සිටි අනෙක් දෙදෙනා ඒ අවස්ථාවේ රථයෙන් බැස පලා ගොස් තිබුණා.
කැබ් රථය සහ රියැදුරු පොලිස් අත්අඩංගුවට ගත් අතර ඒ වන විටත් රියැදුරු කෙලින් සිටීමට නොහැකි තරමට මත්පැන් පානය කර සිට ඇත. මේ තරම් විශාල අනතුරක් සිදුවී ඇති බව දැන සිටියත් බීමත් රියැදුරු සිනා සෙමින් කිසිවක් සිදු නොවූ අයුරින් හැසිරෙමින් සිටි බව පොලිසිය පවසනවා.
මෙම අනතුරින් එකම පවුලේ 4 දෙනෙක් ද මියගියා. එසේ මියගොස් ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ ඥාතීන් සිව් දෙනෙකු වූ 56 හැවිරිදි පී. බී. ඉන්ද්‍රානි නමැති මව, 35 හැවිරිදි නවීශා නිලංගි (දියණිය), 38 හැවිරිදි ලසින ප්‍රියංකර නානායක්කාර (දියණියගේ සැමියා) සහ 15 හැවිරිදි මලීශා සත්සරණි (ඥාති දියණියකි) මියගිය අනෙක් දෙදෙනා ක්‍රිෂාන් ප්‍රියංකර සහ නිශාන් ප්‍රියංකර නමැති පාදුක්කේ පදිංචි පවුලේ සහෝදරයන් දෙදෙනෙක්.
පෙරේදා රෑ අටේ ඉඳලා දන්සල තිබුණා. දන්සල ඉවර වෙලා තිබුණේ රෑ 1.00 ට විතර. අපි ගෙදර ඉන්න කොට එක පාරම ලොකු - ශබ්දයක් ඇහුණා. වාහන දෙකක් හැප්පුණා කියලා අපිට තේරුණා. ඒ ගමන්ම අපි එතෙන්ට දුවගෙන ගියා. අපි යන කොටත් කට්ටිය වටවෙලා හිටියා.
කිහිපදෙනෙක්ම වැටිලා හිටියා. ඒ අය වේදනාවෙන් කෑ ගසමින් සිටියා. අවුරුදු 15 ක විතර ළමයෙකුයි අවුරුදු 25 ක විතර ළමයකුයින් හිටියා වැටිලා. ඒත් එක්කම වාහන දෙකක දාලා තුවාලවෙලා හිටපු අය රෝහලට යැව්වා. ටිකකට පස්සේ පොලිසිය ආවා. සිද්ධිය ගැන තම අත්දැකීම අයකු එලෙස විස්තර කළා.
අත්අඩංගුවට ගත් රියැදුරුට එරෙහිව මනුෂ්‍ය ඝාතන චෝදනාව ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවා.
අනතුරක් වළක්වා නොගැනීම, අපරීක්ෂාකාරී රිය ධාවය, අධික වේගයෙන් රිය ධාවනය, බීමතින් සිටීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව නඩු පැවරීමට නියමිතයි.
මෙම සැකකරු සතුව තිබූ රියැදුරු බලපත්‍රය, රක්ෂණ සහතිකය සහ ආදායම් බලපත්‍රය කල් ඉකුත් වී ඇති බවද විමර්ශන වලින් හෙළි වී තිබුණා.
සැකකරු ඊයේ (01දා) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා."
දිවයින පුවත්පතෙන්..