ජූනියේ උපන් අයගේ සැබෑ ස්වරූපය සජීවිව අත් විඳින ඔබ මේ ලිපිය අනිවාර්යයෙන් කියවලා බලන්න..
මාස රාශිබලය හැටියට ජූනියේ රවි ඉන්නේ බුධ ධන මිථුන රාශියේ. ඒ නිසා මිථුනයට හිමි බුධගේ ගති තමයි වැඩපුර දෙන්නේ. බුධගේ අයට පිරුණු අඟ පසඟ හිමියි. ශරීරය තරමක් උසට වැඩියෙන් මහතින් වැඩියි. ඒ වගේම කොණ්ඩය ටිකක් අඩුයි. පිරිමි පාර්ශ්වයේ නළල එම් අකුර හැඩයෙන් ඉදිරි පෙනුම කැපිලා පේනවා නම් එයා බුධ බලවත් කෙනෙක් බවට කතා දෙකක් නෑ. වේගය ඕනෑ කරන ක්‍රීඩාවලට මේ අය උපන් හපන්නු. ඒ කියන්නේ ටේබල් ටෙනිස්, මාෂල් ආට්ස් වගේම අතේ වේගය ඕනෑ කරන ඇස් බැන්ඳුම් වගේ දේවල්. ඒ වගේම තමයි මේ අයගේ කඩි ගමන. උසාවියක් ඇතුළේ ජේම්ස් බොන්ඩ් බ්‍රීෆ් කේස් එකක් අතින් අරගෙන වයින් කරපු බෝනික්කා වගේ එහේ මෙහේ දුවන ලෝයර් මහත්තයෙක් ඉන්නවා නම් එයත් බුධ බලවත් කෙනෙක්. උසාවි ගේට්ටුවෙන් ඇතුළට එන වැඩි පිරිසක් තමන්ටඇද ගන්නවා වගේම වහලේ උළු උඩ යන ගාණට ගල් පැළෙන තර්ක, වාග් ප්‍රහාර ඉදිරිපත් කරන්නත් මෙයාලා දක්ෂයි.
මිථුනයේ හැටියක් තමයි වැඩට වැඩියෙන් අල්ලාප සල්ලාපයට ළැදිකම. පිළිවෙළට ඇදීම. පිරිමින් පවා ගමනෙදී යම් පැද්දිල්ලක් දැකිය හැකි වීම. බුධ තේජෝ රාශියක්, උභය රාශියක් හා ස්ත්‍රී රාශියක් වැනි ලෙස ජ්‍යෝතිෂයේදී හඳුන්වන්න පුළුවන්. ක්ෂණික තීන්දු තීරණ ගැනීම හා මනස මෙහෙයවා කරන කටයුතුවලදී මේ අයගේ වේගය සුපිරි පරිගණක පරාදයි.
මේ අය ප්‍රශ්නයකින් තේ කෝප්පයේ මකරු මවන්න වගේම ප්‍රශ්නයක් සම්පූර්ණයෙන්ම වහලා අදහස් දක්වන්නත් දක්ෂයි. සම්මුඛ පරීක්ෂණ මෙහෙයවීම, රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මෙහෙයවීම වැනි කටයුතුවල මූලිකත්වය පැවරුවොත් ප්‍රති පාර්ශ්වය ඊළඟට හිතන දේ පවා ඉව කරන්න මේ අයට සුපිරි මානසික හැකියාවක් තිබෙනවා. හොඳ පරිකල්පන ශක්තියක් ඇති නිසා නිර්මාණකරණයටත් සමත්. ඒ වගේම, අවුරුද්දේ මාස 12 න් කෙනෙක්ට තෝරා බේරා වටහා ගන්නට අපහසුම අය උපදින මාසේ මෙයයි.
පැය 24 ම ආර්ථික අරමුණක පැටලිල්ල නිසා මේ අයගේ හිත්වලට නම් කිසිම නිවනක් නෑ. කොහොමත් බුධ බලවත් උදවිය තමන්ගේ ජීවිතයේ නිවීමක් සැනසීමක් ගැන හිතුවේ නැත්නම් තත්ත්වය භයානකයි. මුනේ මස් නටනවා නම්, නිකට නටනවා නම්, අත-පය හිරිය වගේස්නායූ අබාධ වල පෙර නිමිතිවල විපාකය අංශභාගය වැනි තත්ත්ව පවා විය හැකියි. පෙණහලු දුර්වල වීමෙන් නියුමෝනියාව වැළඳීම, රුධිරය ආශ්‍රිත රෝග වගේම හමේ දද-කුෂ්ඨ ඇති වීමටත් වැඩි ප්‍රවණතාවක් මේ අයට තිබෙනවා.
උගත් නූගත් භේදයක් නෑ. බුධගේ මිනිස්සු සතෙන් සතේ හරි තමන්ගේ රහස් ගිණුම් එකතු කරගන්න එක තමයි මේ අයගේ එකම සහනේ. ඒ වෙනුවෙන් තමන්ගේ නිදහස පවා කැප කරන්න මේ අය පැකිළෙන්නේ නෑ.
පවුල් ජීවිතයේදී ආදරණීය පැත්ත තරමක් අසමත් වුවත් යුතුකම් ඉටු කිරීම පැත්ත සුපිරියි. ඒත් එක වචනයක් නැති එක තමයි ලොකුම වැරැද්ද. එ නිසා ජූනි මාසේ කෙනෙක් එක්ක පවුලක් කෑමත්, එකට රාජකාරියක් කිරීමත් වෙලාවකට ඉවසීමක් නැති අනික් පාර්ශ්වයකට මහා හිසරදයක් විය හැකියි.
බුධගේ යහපත් ආකර්ෂණය හොඳීන් ඇති මේ වගේ අය සමාජයේ ප්‍රචලිත චරිත වනවා. ආදර්ශවත් චරිත හැටියට ජනතා ප්‍රසාදයට, ආකර්ෂණයට ලක් වෙනවා. මේ අයට කටේ දිවේ නොගෑවී ඕනෑම දෙයක් ජනගත කරන්නත් හැකියාවක් තිබෙනවා. ව්‍යාපාර සරුසාර කර ගන්නවා. ඒත් කාලයක් විතරයි. තව කාලයක් එනවා ඔක්කොම අව පසට ගිහින් බහින කලාව එන. ජීවිතයේ හැම දෙයකදීම බොරුව-ඇත්ත අතර පැටලිල්ල නිසා අවුල් ජලාවකට මැදි වෙන.
මේ අය හරිම උද්යෝගීවත්. හැඟුම්බර සතුට සොයා යන ජාතියක්. නිතරම සැක මුසු ඇසින් ලොව දකින ස්වභායත් කැපී පේනවා. කොතරම් බාධක අවහිරතා මැද දස දහස් වරක් ඇද වැටුණත් නැවත වහා ප්‍රතිස්ථාපනය වෙන්නත් මේ අයට තියෙන්නේ පුදුම හැකියාවක්.
කොටස් වෙළඳපළ, සූදුව වගේ අංශවලින් වගේ පහසුවෙන් මුදල් උපයන මාර්ග මේ අයට පෑදෙන්නේ ඉබේමයි. තමන් සියල්ල දන්නා බව ඇඟවීම ස්වකීය දැනුම යාවත්කාලීන කර ගැනීමට ඇති ලොකුම බාධාව වනවා. මේ නිසාම සිත තුළ පොපියන අදහස් සම්භාරය වේගවත්ව පිට කිරීමේ කඩිමුඩිය නිසා කතා බහා අතර තුර තරමක ගොතයක් පවා ඇති විය හැකියි.
අපි හැමෝම දිවි රඟමඩලේ නළු නිළියෝ වුණාට ජූනියේ ඈයෝ තමයි රඟපෑමටම උපන් හපන්නු. මේ අයගේ හිතේ තියෙන යම් දේවල් ව්‍යංගයෙන් තමයි වැඩි හරියක් එළියට දාන්නේ.
උදාහරණයක් හැටියට නැන්දම්මා තමන්ගේ ලේලිව බය කරගන්න මළගිය පරාණකාරයෙක් ආරූඩ වුණා වගේ රඟපාන අවස්ථාවක් කියන්න පුළුවන්.
ළඟ ඉන්න කෙනා තමයි මෙයාලට හැම තිස්සෙම හොඳම කෙනා. ඒ වගේම තමයි අනුන් ගේ වැඩ තියා තමන් කරන වැඩක් ගැන පවා සෑහීමකට පත් නොවීම.
සම්බන්ධතාවයක් බිඳ වැටුණු ගමන් ඒක අමතක කර හිත හදා ගන්න මෙයාලාට අපහසුවක් නෑ. ඒ වගේම මේ අය සමහරකගේ සුවිශේෂී ලක්ෂණයක් තමයි තමන්ගේ ප්‍රධාන නිවෙසට අමතරව ලෝකයාගෙන් සූක්ෂම ලෙස සඟවා ගත් තවත් නිවහනක් පවත්වා ගැනීම. ඇතැම් විට ගෙවල් දෙකේ පවුල් දෙකක් වෙන්නත් බැරි නෑ.
එකවර වැඩ කීපයක් කරනවා වගේම කරන වැඩ අත් ඇරලා දාන එකත් රැකියා තානාන්තර අතැර දානවා කියන එකත් මෙයාලට ගැටලුවක් නෙවෙයි.
මොන තරාතිරමක හිටියා වුණත් මේ ඇත්තෝ බහුතරයක් දවල් මිගෙල්-රෑ දනියෙල් වගේ චරිත රඟ පාන්නේ. මේ අය මෝඩයට අන්ඳන්න හිතන අය තමයි අන්තිමට මෝඩයට අඳීන්නේ. ඒ තරමටම මේ අයගේ ශූර බුද්ධිය ඉහළයි.
ජූනිය ගැන තවත් විස්තර කියනවා නම් ජූනියට අංක විද්‍යාත්මකව අයිති වෙන්නේ මැයි 28-ජූනි 27 අතර කාලයයි. ඒ මාසේ මැයි 21-ජූනි 21 අතර ලොකු කොටස අයත්වන්නේ වායෝ ත්‍රිවංකයට.
මේ කාලයේ උපදින අයට ශ්වසන අබාධ, සුළඟින් වන අනතුරු කැපී පේනවා. ජූනි 21-ජූනි 27 අතර පොඩි කොටස අයිති ජල ත්‍රිවංකයට. මේ අයට ජලයෙන් අගුණයි. යටිබඩ ආශ්‍රිත ගැටලු කෑපී පේනවා. එහෙම වුණත් ඒ කොටසට අයත්වන බොහෝ දෙනෙකුට පහසුවෙන් විදෙස්ගත වීමේ වාසානාවත් දෛවෝපගතව හිමි වනවා.
මේ අය භූමි දර්ශන සහිත සිතුවම් සැරසිලි වලට ආසා කරනවා. සුනඛයන් හා බිලාලයන් සුරතලයට ඇති කරන්නත් ළැදියි. නිතර සංචාරයටත් කැමතියි. හැබැයි කොච්චර වියදමක් දරලා ගමනක් ගියා වුණත් ඒ යන තැනක වැඩි වේලාවක් රැඳෙන ඉස්පාසුවක් නෑ. මේ මාසේ උපන් බොහෝ පිරිමි උදවිය කට වටේ රැවුලක් තියන්නත් හරි ආසයි. තමන් ගැන හරි තක්සේරුවක් ඇතොත් මේ වගේ වැඩට දක්ෂයන් තවත් නෑ.
හිත සතුටින් ඉන්නා තාක් මොවුන් නිරෝගීයි. බැටරි ආරෝපණය අවසන් වනතුරා විතරයි එක දිගට වැඩ කරන්න පුළුවන් වන්නෙත්. මේ අයගේ ශාරීරික ශක්තියට වඩා ඉස්මතු වන්නේ ස්නායූවල ශක්තියයි.
සුබසෙත පුවත්පත ඇසුරෙන්..