මේ කියන්න යන්නෙත් මුළු මහත් ලංකාවක්ම හඬවපු, ඒ වගේම මුළු රටේම ගෞරවය දිනාගත්තු අපූරු අම්මා කෙනෙක් ගැනයි.
ඇය නමින් ගංගානි. තවම වයස අවුරුදු 52ක ආදරණීය මවක්. නිතරම මුහුණේ හිනාව රැඳුනු, සැහැල්ලුවෙන් ජීවත් වුණු ඇය හදිසියේම මෙලොවින් සමුගත්තේ තමන්ගේ ආදරණීය සැමියා දීප්ති සහ දූවරුන් දෙදෙනා තනි කරලයි. ලොකු දුව එන අගෝස්තු මාසයේ උසස් පෙළ (A/L) ලියන්න ලෑස්ති වෙන, පොඩි දුව සාමාන්‍ය පෙළ (O/L) ප්‍රතිඵල එනකල් බලන් ඉන්න වයසකයි ඉන්නේ. මේ දරුවෝ දෙන්නා දාලා යන්නම යද්දී ගංගානිගේ පවුලේ අයට දැනුනු දුක වචන කරන්න බැහැ.
හදිසියේම ගංගානි අක්කාගේ මොළය අකර්මණ්‍ය (Brain Dead) වුණත්, ඇයගේ ශරීරය ක්‍රියාත්මක මට්ටමේ තිබිලා තියෙනවා. අන්න ඒ වෙලාවේ ඇයගේ ආදරණීය සැමියා දීප්ති සහ දූවරුන් දෙන්නා එකතු වෙලා කාටවත්ම කරන්න බැරි තරම් මහා පිංකමකට අත ගහලා තියෙනවා. ඒ තමයි ගංගානිගේ ශරීර අවයව තවමත් ජීවිතය ඉල්ලා හඬන රෝගීන්ට දන් දීම!
ඇයගේ වකුගඩු, ඇස් වගේම ශරීරයේ පටක පවා රෝගීන් රැසකට දන් දීලා තියෙනවා. වෛද්‍යවරුන් පවසන විදිහට ඇයගේ ශරීරයෙන් ලබාගත් අවයව කොටස් ප්‍රමාණය 52ක්! ඒ කියන්නේ ඇය මේ යන්න ගිහින් තියෙන්නේ තවත් ජීවිත සහ පුද්ගලයන් 52 දෙනෙකුට සුවය සලසලයි. සමහර රෝගීන් මේ වෙනකොටත් සුවපත් වෙමින් ඉන්නවා කියලා දැනගන්න ලැබෙනවා.
මේ වගේ ශරීර අවයව සහ පටක ඉවත් කරද්දී, විශේෂයෙන්ම මුහුණේ හැඩරුව වෙනස් වෙන්න පුළුවන් කියලා වෛද්‍යවරුන් දීප්ති අයියට (සැමියාට) කලින්ම කියලා තිබුණා. දේහයේ පෙනුම වෙනස් වෙනවට කැමතිද කියලා අහපු වෙලාවේ, මේ ආදරණීය සැමියයි දුවලයි දීපු උත්තරය හැමෝගෙම ඇස්වලට කඳුළු උනනවා නියතයි.
"ජීවිතය නැතිවුනාට පස්සෙ ලස්සන මොකටද?"
අන්න ඒ විදිහට හිතපු ඔවුන්, දේහයේ පෙනුම ගැන නොහිතා, තව කෙනෙක් ජීවත් වෙනවා නම් ඒක මහා පිනක් කියලා මේ උදාර තීරණය අරන් තියෙනවා. බෞද්ධ දර්ශනයට අනුව ජීවිතයක් දන් දීම තරම් තවත් මහා පිනක් තවත් නැහැ.
ගංගානි අක්කාගේ දේහය අසල තබා ඇති ඒ උදාර පින්කමට අදාළ ලේඛනවල පින්තූර සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින් ඇයගේ සැමියා ඉල්ලා සිටින්නේ එකම එක දෙයයි.
"මේවා පුළුවන් තරම් මිනිස්සු අතර බෙදාහරින්න. මේ වගේ පුණ්‍යකර්ම කරන්න තව කෙනෙකුටත් හිතෙනවා නම් ඒක කොච්චර දෙයක්ද?"
යන්න ගියත් ජීවිත 52කට ජීවය දුන් ගංගානි අක්කාට නිවන් සුව අත්වේවා! වගේම දුක දරාගෙන මේ වගේ උතුම් තීරණයක් ගත්තු දීප්ති අයියා ඇතුළු දූවරුන්ට මේ පිනම නිවන් දකින්න හේතු වාසනා වේවා!