ඒත් ඔවුන් සිටින්නේ මේ වගේ තත්වයක කියලා ඔබ කිසිවෙකුත් නිකමටවත් සිතුවාද..? මේ අන්න ඒ ගැන ඇසෙන වෙනස්ම කතාවක්.
කොවිඩ් -19 වසංගතයෙන් පසු මේ දක්වා ඇති වූ ආර්ථික අර්බුද හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂිත සිසුන් අතර විෂාධය සහ කාංසාව මෙන්ම දැඩි මානසික ආතතිය ඉහළ මට්ටමක පවතින බවට ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.
මෑතකාලීනව සිදුකළ දේශීය සමීක්ෂණ සහ පර්‌යේෂණ දත්තවලට අනුව වෛද්‍ය, ඉන්ජිනේරු මෙන්ම මානව ශාස්ත්‍ර ඇතුළු විවිධ පීඨවල සිසුන් සැලකිය යුතු පිරිසක් මෙසේ අධික මානසික පීඩනයකින් පෙළෙන බවට හඳුනාගෙන තිබෙනවා.
ජීවන වියදම, නවාතැන් පහසුකම් සහ අධ්‍යාපන උපකරණ සඳහා වැයවන පිරිවැය ඉහළ යාම, අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවය, උපාධියෙන් පසු රැකියා අවස්ථා සහ වෘත්තීය ස්ථාවරත්වය පිළිබඳ පවතින බිය, විශ්වවිද්‍යාල සිසුවකු ලෙස තම පවුල තමන් කෙරෙහි තබා ඇති අධික බලාපොරොත්තු නිසා ඇතිවන මානසික තත්ත්වයන් මෙම තත්ත්වයට හේතුවී තිබුණා.
උසස් අධ්‍යාපන ක්‍රමය තුළ පවතින දැඩි තරගකාරීත්වය සිසුන්ගේ ප්‍රධාන ආතති සාධකයක් බවට හඳුනාගෙන ඇති අතර අධික විෂය නිර්දේශය, අඛණ්ඩ ඇගයීම් සහ GPA අගය පිළිබඳ පවතින දැඩි සැලකිල්ල හේතුවෙන් දක්ෂ සිසුන් පවා මානසිකව පීඩාවට පත්ව ඇති තත්ත්වයක් දක්නට ලැබෙන බව වෛද්‍යවරු පවසනවා.
මීට අමතරව, සමහර විශ්වවිද්‍යාලවල ඇති ශිෂ්‍ය බලපෑම් හේතුවෙන්, විශේෂයෙන්ම පළමු වසරේ සිසුන් දැඩි කම්පනයකට, සමාජයෙන් වෙන්වීමට සහ උග්‍ර මානසික පීඩනයකට ලක්වෙවෙන අතර, විශ්වවිද්‍යාලවල වෛද්‍ය මධ්‍යස්ථාන සහ ශිෂ්‍ය උපදේශන සේවා ස්ථාපිත කර තිබුණද, සිසුන් ඒවා පරිශීලනය කරන්නේ ඉතා අවම වශයෙන් බවද මෙම සමීක්ෂණයේදී හෙළිව තිබෙනවා..
අරුණ පුවත්පතෙන්..