මේ කියන්න යන්නේ, අද සමාජයේ නිහඬවම ව්‍යාප්ත වෙමින් පවතින බරපතළම ඛේදවාචකයක් වුණු "විෂාදය" (Depression) නිසා, මුළු රටක්ම හඬවමින් අකාලයේ නිවී ගිය තවත් එක් සොඳුරු තරුණ ජීවිතයක් ගැනයි.
පීඩනය, බලාපොරොත්තු බිඳවැටීම්, ආදරයේ වේදනා, ආර්ථික ගැටලු සහ දරාගත නොහැකි තනිකම... මේ හැමදේම මැද අද අපේ රටේ බොහෝ තරුණ ජීවිත අසරණ වෙලා. ජීවිතය අවසන් කිරීම කිසිසේත්ම විසඳුමක් නොවෙයි. නමුත්, අමාරුම මොහොතක කෙනෙකුගේ එකම එක ආදරණීය වචනයක්, උණුසුම් වැළඳගැනීමක් හෝ සවන්දීමක් තවත් ජීවිතයක් බේරාගන්න පුළුවන් කියන දේ අපේ සමාජය තවමත් තේරුම් අරන් නැහැ.
ඇය නමින් හර්ෂිකා මනෝරි. පුලතිසිපුර ජාතික විද්‍යා පීඨයේ තෙවන වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි, අනාගතයේ රටම හැඩකරන්න හීන දැකපු ගුරු සිසුවියක්. ඇය සිය ගුරු පුහුණුව (Training) සඳහා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පාසලක සේවය කරමින්, එම ප්‍රදේශයේම නවාතැන්පළක නතර වී සිටියා.
පසුගිය දවසක ඇයව බලන්න ආදරණීය මව ඒ බෝඩිම් කාමරයට යන්නේ, තමන් පණ වගේ ආදරය කරන දියණියව දැක බලාගන්න වගේම ඇගේ සුවදුක් විමසන්නයි. නමුත්, ඒ අම්මාට දැකගන්න ලැබුණේ මුළු හදවතම කම්පා කරවන, මුළු ලෝකයම නතර කරවන දසුනක්.
තමන් කුස හොත් දවසේ ඉඳන් ලේ කිරි කරලා පොවා, දහසක් බලාපොරොත්තු මැද ලොකු මහත් කළ දියණිය, ඒ බෝඩිම් කාමරය තුළම ගෙල වැලලාගෙන ජීවිතය අත්හැර දමා තිබුණා... ඒ අම්මාගේ වේදනාව, විලාපය, කඳුළ කෙසේ නම් ඉවසන්නද?
ලැබෙන තොරතුරු අනුව හර්ෂිකා දියණිය කාලයක සිට "විෂාදය" (Depression) තත්ත්වය සඳහා වෛද්‍ය ප්‍රතිකාර පවා ලබාගනිමින් සිටි අයෙක්. වෛද්‍ය ප්‍රතිකාර පවා ලබමින් සිටියදීත්, ඇයට මේ විදියට තනිවම ජීවිතයෙන් සමුගන්න තරම් දැනුණු ඒ දරාගත නොහැකි වේදනාව මොකක්ද?
මේ සිදුවීම අපිට දෙන පණිවිඩය හරිම බරපතළයි. අපිට පෙනෙන හිනාවල් පිටුපස මොන තරම් අඬන හදවත් ඇත්දැයි අප දන්නේ නැහැ. ඔබ අවට සිටින අය ගැන විමසිල්ලෙන් ඉන්න. ඔවුන්ගේ වෙනස්වීම් හඳුනාගන්න. විනිශ්චය කරන්නේ නැතුව, තවකෙකුගේ හිතේ බර නිදහස් කරගන්න ඉඩක් දෙන්න. හැර යාම නෙවෙයි, ජීවත් වෙලා පෙන්වීමයි වීරකම.
සමාජ මාධ්‍ය ඇසුරෙන්