සැකකටයුතු ලෙස මියගොස් සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ සිරුර අද (08) උදෑසන සොයා ගැනුණා.
ඒ කොල්ලුපිටිය, පේද්‍රිස් පෙදෙසේ අංක 37 දරන නිවසේ තිබියදීයි.
එම නිවස කපිල චන්ද්‍රසේනගේ ඥාතියෙකුට අයත් නිවසක් බවටයි වාර්තා වන්නේ.
ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරිම හේතුවෙන් ඔහුව යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඊයේ (07) වරෙන්තු ද නිකුත් කෙරුණා.
එවන් පසුබිමකයි කපිල චන්ද්‍රසේනගේ සිරුර අද සොයා ගෙන තිබුණේ.
සිරුර තිබූ නිවස අසල පිහිටි පෞද්ගලික රෝහලක සේවකයෙකු විසින් සිය දිවි හානි කරගත් අයෙකුගේ සිරුරක් තිබෙන බවට කළ දැනුම් දීමකින් පසුව කොල්ලුපිටිය පොලිසියේ නිළධාරීන් අදාල නිවස වෙත ගොස් තිබුණා.
මෙම නිවසේ දෙවන මහලේ තිබී සිරුර හමු වී ඇති අතර, එහි කාමරයක නාන කාමරයට ඇතුළුවන දොරෙහි එල්ලී මොහු සියදිවි හානි කරගන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
කෙසේ වෙතත් මෙම මරණය සියදිවි නසා ගැනීමක් ද එසේ නොමැති නම් ඝාතනයක් ද යන්න සෙවීම සඳහා විමර්ශනයක් සිදු කරන බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් ලබාගත් බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේන ඇප මත මුදා හැරුණේ පසුගිය 05 වැනිදායි.
එයාර් බස් ගුවන් යානා ප්‍රසම්පාදන ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මොහු පසුගිය මාර්තු මස 12 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවූ අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.
කෙසේ වෙතත් අදාල නඩුව අවස්ථා ගණනාවකදී විභාගයට ගැනුණු අතර දින 54ක් පමණ රිමාන්ඩ් කර සිටි ඔහු ඇප මත මුදාහරින ලෙස පසුගිය 05 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
එහිදී ඔහු වෙනුවෙන් ශරීර ඇප තැබීමට ඉදිරිපත් වූ ඇපකරුවන් දෙදෙනා කපිල චන්ද්‍රසේන සමග කිසිදු පෞද්ගලික සම්බන්ධතාවයක් නොමැති බවට හෙළි වූ බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා පෙරේදා දිනයේ අත්අඩංගුවට ගැණුනු අතර, එම සැකකරුවන් දෙදෙනා ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.
එවන් පසුබිමක මෙම සිද්ධියට අදාලව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ මෝසමක් සැලකිල්ලට ගනිමින් ඇප මත මුදාහැර සිටි කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ වරෙන්තු නිකුත් කළා.
එමෙන්ම කපිල චන්ද්‍රසේනට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමට අදාල ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ලෙස කටයුතු කරමින් එකී මිලදී ගැනීමේ දී අල්ලස් ලබා ගැනීමේ අරමුණින් තම බිරිඳ ඇතුළුව තවත් පිරිස් සමග කුමන්ත්‍රණය කර සිය බිරිඳගේ නමින් බෲනායි රටේ ව්‍යාජ සමාගමක් පිහිටුවා ඇති බවට ද විමර්ශනවලදී අනාවරණය වූ බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ.
එම සමාගම නමින් සිංගප්පූරුවේ බැංකුවක ගිණුම් විවෘත කර අල්ලස් මුදල් ලෙස වෙනත් සමාගමකින් යුරෝ දාහතර ලක්ෂ පනස් හතර දහස් හයසියකට අධික මුදලක් ලබාගෙන ඇති බවට ඔහුට චෝදනා එල්ල වුණා.
එම මුදල් ඔස්ට්‍රේලියාවේ කොමන්වෙල්ත් බැංකුවේ ඇති තමාගේ ගිණුමකට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එවකට අධ්‍යක්ෂවරයෙකු ඇතුළු තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු වෙත ලබා දීමට කටයුතු කර ඇති බවටයි විමර්ශනවලදී හෙළි වී තිබුණේ.