එහෙනම් අපේ ලාංකිකයන් අතරේ තියෙන එක පුරුද්දක් ගැන අද අපි කතා කරන්නම ඕනේ.ඒ තමයි ඩුබායි ට්‍රාන්සිට් එකේදී හරි, ලංකාවේදී හරි First Copy නැත්නම් Master Copy කියලා හඳුන්වන ලෝක ප්‍රසිද්ධ සන්නාමවල බෑග්, ඔරලෝසු හෝ සපත්තු මිලදී ගැනීම.මේක අතේ බැන්දම අසල්වැසියෝ හිතන්නේ ලක්ෂ 20ක රොලෙක්ස් එකක් කියලා. කවුද දන්නේ මේක රුපියල් පන්දහසකට ගත්තේ කියලා?ඔන්න ඔය සිතුවිල්ල ඔබට යුරෝපා ගුවන් තොටුපළකදී ලොකු කරදරයක් වෙන්න පුළුවන්ද? සෝෂල් මීඩියා වල කැරකෙන මේ බය හිතෙන කතාවේ ඇත්තම තත්ත්වය මෙන්න.
විශේෂයෙන්ම ප්‍රංශය සහ ඉතාලිය කියන්නේ ලෝකයේ සුප්‍රසිද්ධ සුඛෝපභෝගී සන්නාම බිහිවුණු නිවහනයි. තමන්ගේ රටේ ව්‍යාපාර, බුද්ධිමය දේපළ සහ ආර්ථිකය ආරක්ෂා කරගන්න ඔවුන් ව්‍යාජ භාණ්ඩ විරෝධී නීති ඉතාමත් දැඩිව ක්‍රියාත්මක කරනවා. නීති පොත්වල හැටියට ඒවා බරපතල වැරදි..
ප්‍රංශය - ව්‍යාජ භාණ්ඩ ළඟ තබා ගැනීම නීතියෙන් තහනම්ය. ඒ සඳහා පනවිය හැකි උපරිම දඩය යුරෝ ලක්ෂ 3ක් (ලංකාවේ මුදලින් රුපියල් කෝටි 11කට වඩා වැඩි) හෝ වසර 3ක සිරදඬුවමකි.
ඉතාලිය - ව්‍යාජ සන්නාම සහිත භාණ්ඩයක් මිලදී ගන්නා හෝ ළඟ තබා ගන්නා සාමාන්‍ය පාරිභෝගිකයෙකුට වුවද යුරෝ 100 සිට යුරෝ 10,000ක් (රුපියල් ලක්ෂ 38ක් පමණ) දක්වා දඩ ගැසීමේ නීතිමය ප්‍රතිපාදන රේගුව සතුය.
මෙන්න මෙතනයි සැබෑ තත්ත්වය හැංගිලා තියෙන්නේ! Fake බෑග් එකක් එල්ලාගෙන හෝ එක හොර ඔරලෝසුවක් බැඳගෙන යන සාමාන්‍ය සංචාරකයෙකුට කෙළින්ම ලක්ෂ 38ක හෝ කෝටි ගණනක උපරිම දඩ ගහන්නේ ඉතාමත් කලාතුරකිනි.
නීති පොත්වල තියෙන ඔය දැවැන්ත දඩ මුදල් ප්‍රධාන වශයෙන්ම වෙන් වෙලා තියෙන්නේ විකුණන්න හෝ ජාවාරම් කරන්න මහා පරිමාණයෙන් හොර බඩු තොග පිටින් ගෙනියන ව්‍යාපාරිකයන්ටයි.
ඔබ සන්තකයේ තියෙන්නේ පෞද්ගලික පාවිච්චියට ගත්තු එක ව්‍යාජ භාණ්ඩයක් නම්, සාමාන්‍යයෙන් යුරෝපා රේගුවෙන් කරන්නේ එම භාණ්ඩය රාජසන්තක කර පසුව විනාශ කර දැමීමයි. සමහර අවස්ථාවලදී නීතිය තදින් ක්‍රියාත්මක වුවහොත් සාපේක්ෂව කුඩා මූල්‍යමය දඩයක් ගැසීමටද ඉඩ ඇත.
ගුවන් තොටුපළවල තියෙන X-ray ස්කෑනර්වලින් බෑග් ඇතුළේ තියෙන දේවල් බලන එක ඇත්තයි. හැබැයි ඔරලෝසුව ඇතුළේ ලෝහයේ ඝනත්වය මැනලා "මේක Fake Rolex එකක්" කියලා තත්පරෙන් කියන මැජික් ස්කෑනර් තාක්ෂණයක් සාමාන්‍ය මගීන් පරීක්ෂා කරන්න රේගුව පාවිච්චි කරන්නේ නැත. රේගු නිලධාරීන්ට සැක හිතුණොත් ඔවුන් කරන්නේ භාණ්ඩය අතට ගෙන එහි නිමාව, බර සහ Logos පරීක්ෂා කිරීමයි.
ප්‍රංශ රේගුවේ මෙවැනි සයිබර් අංශයක් තිබේ. හැබැයි ඔවුන් ප්‍රධාන වශයෙන්ම ලුහුබඳින්නේ ඉන්ටර්නෙට් සහ ඩාර්ක් වෙබ් හරහා මහා පරිමාණයෙන් හොර බඩු විකුණන ජාවාරම්කරුවන් සහ වෙබ් අඩවි මිසක්, සාමාන්‍ය කෙනෙක් දාන ටික්ටොක් "Dubai Haul" වීඩියෝ එකක් නෙවෙයි. හැබැයි ඔබ ළඟ බඩු තොගයක් අසුවුවහොත් ඔබේ සෝෂල් මීඩියා පෝස්ට් ඔබට එරෙහිව සාක්ෂි ලෙස පාවිච්චි කළ හැක.
ලක්ෂ ගණන් දඩ නොගැහුවත්, ඔබ මහන්සියෙන් හම්බ කරලා ඩුබායිවලින් රුපියල් 5,000ක් 10,000ක් දීලා ආසාවට ගන්න ලස්සන "First Copy" බෑග් එක හෝ ඔරලෝසුව එයාර්පෝට් එකේදී රේගුවට තබාගෙන විනාශ කර දැමුවහොත් එය ඔබට සිදුවන විශාල පාඩුවකි.
එමෙන්ම රේගු නිලධාරීන් ඉදිරියේ අපහසුතාවයට පත්වීමටද සිදුවේ.එබැවින් නුවණට හුරුම දේ තමයි, යුරෝපයට යනවා නම් ලෝක ප්‍රසිද්ධ සන්නාමවල ව්‍යාජ කොපි පාවිච්චි නොකර, සන්නාමයක් නොමැති හෝ සාමාන්‍ය දේශීය සන්නාමයක හොඳ තත්ත්වයේ බඩු පාවිච්චි කිරීමයි. එය ඔබේ සාක්කුවට වගේම ගමනේ නිදහසටත් ගොඩක් වටිනවා!