ඔන්න ලෝක ප්‍රසිද්ධ බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය විසින් කරපු අලුත්ම ශ්‍රේණිගත කිරීම් අනුව අපේ රට අකමැත්තෙන් වුණත් ආසියාවෙන්ම පළවෙනි තැනට ඇවිත් තියෙනවා. හැබැයි ඒ හොඳ දේකට නම් නෙවෙයි!
බ්ලූම්බර්ග් ආයතනය කියන විදිහට මේ මාසය ඇතුළත ආසියාවේ වේගයෙන්ම පිරිහෙන මුදල් ඒකකය බවට පත්වෙලා තියෙන්නේ අපේ ශ්‍රී ලංකා රුපියලයි!
එතැනින් ඉවර නැහැ, බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනතුරු අඟවන්නේ අපේ රුපියල ඉදිරියේදී තවදුරටත් අවප්‍රමාණය වෙන්න, ඒ කියන්නේ තවත් බාල්දු වෙන්න ලොකු ඉඩක් තියෙනවා කියලයි. මේ සිරාවටම වෙන කතාවක් බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවා පවසා ඇති බවයි එම වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ.
මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයන් බැලුවොත් මේ කතාවේ ඇත්ත නැත්ත බලාගන්න පුළුවන්. ඊයේ දවසේ විතරක් අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 342.70ක් වගේ ඉහළ අගයක!
මේ ගැන රටේ ඉන්න ආර්ථික විශ්ලේෂකයින් නම් ඉන්නේ ලොකු බයකින්. ඔවුන් කියන්නේ මෙච්චර කෙටි කාලයක් ඇතුළත ඩොලරයට සාපේක්ෂව රුපියල මේ වගේ දරුණු විදිහට වැටීම මෙරට ආර්ථිකයට ඉතාමත් භායනක විදිහට බලපාන්න පුළුවන් කියලයි.
රුපියල මෙහෙම වැටෙද්දී පිටරටින් ගේන හැමදේකම මිල ආයෙත් අහස උසට යන්න පුළුවන්. ඒ නිසා නිකරුණේ සල්ලි නාස්ති නොකර, අතේ තියෙන සල්ලි ටික පරිස්සම් කරගත්තොත් හොඳයි වගේ නේද?