හැබැයි, ඒ හැම කතාවක්ම අමතක කරලා, හදවතට මහා ලොකු ආදරයක් සහ සංවේදී බවක් එකතු කරන අමුතුම පුවතක් තලවකැලේ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මිනිසෙකු මියගිය පසු සිදුකරන සියලුම ආගමික වත්පිළිවෙත් සහ අවසන් චාරිත්‍ර ඉටුකරමින්, මල් අතුරන ලද මිනි පෙට්ටියක දමා අවසන් ගෞරව දැක්වූ "සුනඛයෙක්" ගැන සමාජ මාධ්‍ය පුරා දැන් ලොකු කතාබහක් ඇතිවෙලා තිබෙනවා.
සිද්ධිය වෙන්නේ තලවකැලේ, නාගසේන ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ. මීට අවුරුදු 18කට පෙර, ඒ කියන්නේ 2008 වසරේදී දරුණු රිය අනතුරකට ලක්වෙලා, කකුලක්ද කැඩී, කිසිවකුගේ පිහිටක් නොමැතිව මහා මඟ වැටී සිටි අසරණ සුනඛයෙකුව මේ පන්සලේ හාමුදුරුවරුන් විසින් බේරාගෙන තිබෙනවා.
විහාරාධිපති පූජ්‍ය උඩුගම පියදස්සි හිමියන් ඇතුළු නිකායික භික්ෂූන් වහන්සේලා මාස ගණනාවක් එක දිගට ප්‍රතිකාර කරලා මේ සතාව සුවපත් කරගෙන තිබෙනවා. පස්සේ මුළු පන්සලටම, දායකයින්ටම සුරතලෙක් වුණු මේ සුනඛයාට නම තියලා තිබුණේ "බ්ලැකී" කියලා.
වසර 18ක් පුරා පන්සලේ හැමෝගෙම ආදරය දිනාගෙන ජීවත් වුණු "බ්ලැකී" පසුගියදා (23 දා) මෙලොව හැරගොස් තිබෙනවා. සාමාන්‍යයෙන් සතෙක් මැරුණාම වළලා දමන එක සාමාන්‍ය දෙයක් වුණත්, මේ පන්සලේ හාමුදුරුවරු සහ දායකයෝ බ්ලැකී වෙනුවෙන් කරපු දේ නම් ඇත්තටම පුදුම සහගතයි.
මල් අතුරා සකසන ලද මිනි පෙට්ටියක බ්ලැකීගේ දේහය තැන්පත් කර පන්සලේ ධර්ම ශාලාවේ දේහය තබා ගිහි පැවිදි විශාල පිරිසක් අවසන් ගෞරව දක්වලා තියෙනවා..
මිනිසෙකු වෙනුවෙන් සිදුකරන සියලුම ආගමික වත්පිළිවෙත් සහ පාංශුකූල චාරිත්‍ර ඉටුකර පින් අනුමෝදන් කිරීමත් ,අවසානයේ පන්සල් භූමියේදීම ඉතා ගෞරවනීය ලෙස මිහිදන් කිරීමත් කරලා තියෙනවා..
"තිරිසන් සතෙක් වුණත් පන්සලට, සඟ පරපුරට දක්වපු ලැදියාව සහ ආදරය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිම දේ අපි කළා," යනුවෙන් විහාරාධිපති හිමියන් පවසා තිබෙනවා.
මේ අපූර්ව අවමංගල්‍ය උත්සවයේ ඡායාරූප සහ තොරතුරු මේ වනවිට Facebook පිටු කිහිපයකම Share වෙමින් පවතිනවා. බොහෝ දෙනෙක් පවසන්නේ, වර්තමාන සමාජයේ මිනිස්සු මිනිස්සුන්ටවත් සලකන්නේ නැති යුගයක, තිරිසන් සතෙකුට පවා මෙවැනි උතුම් මානුෂීයත්වයක් දැක්වීම මුළු සමාජයටම ආදර්ශයක් බවයි.