හැබැයි ජීවිතේ එකම එක හිස්තැනක් තියෙනවා, ඒක කවදාවත්, මොනම සේසතක් දීලාවත් ආයෙමත් පුරවන්න බෑ. ඒ තමයි අම්මා සහ තාත්තා නැති අඩුව... ඇත්තටම මේ ලෝකේ වැඩියෙන්ම තනිවෙන්නේ දෙමව්පියන් අහිමි වුණු දරුවෝ සහ දරුවන් අහිමි වුණු දෙමව්පියෝ විතරමයි. අද දවසේ මුළු සමාජ මාධ්‍යම කඳුළින් තෙත් කරපු, නෙතට උනන කඳුළ පාලනය කරගන්න බැරි කරපු සංවේදීම පෝස්ට් එකක් අපේ ඇස ගැටුණා.
ඒ, තමන්ගේ ප්‍රාණය වැනි ආදරණීය අම්මා තමන්ව දාලා ගිහින් මාස තුනක් ගතවුණත්, තවමත් හිත හදාගන්න බැරුව පාලුව සහ තනිකම ගැන සංවේදී සටහනක් තබා තිබූ ආදරණීය පුතෙකුගේ කතාවක්.
අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් තමන් ලඟ නැති දුක දරුවෙක්ට දැනෙන්නේ දවසින් දෙකෙන් ඉවර වෙන දෙයක් විදිහට නෙමෙයි. දවස් ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් කොච්චර කෙමෙන් කෙමෙන් ගෙවිලා ගියත්, ඒ අහිමි වීම ඇතුළේ දැනෙන වේදනාව දරුවෙක්ගේ හිතට හැමදාමත් අලුත්.
හැමදාම ගෙදර එද්දී ඉස්සරහට ඇවිත්, මූණ බලලා "පුතේ කෑවද?" කියලා අහන්න අම්මා කෙනෙක් නැති පාළුව, මුළු ලෝකයක් මැද හිටියත් තනිවුණා වගේ හැඟීමක් විතරමයි ඉතුරු කරන්නේ.
මව්ගුණ ගීත කොච්චර ඇහුවත්, මව්ගුණ ගැන කොච්චර ලිව්වත්, අම්මා කෙනෙක් ජීවතුන් අතර ඉන්නකම් ඒ වටිනාකම සමහරුන්ට දැනෙන්නේ නෑ. මේ වගේ සංවේදී සටහන් දකිද්දීවත්, තමන්ගේ ලඟ ඉන්න අම්මා තාත්තාව ඇස් දෙක වගේ බලාගන්න, ඔවුන්ට ආදරය කරන්න හැමෝම උත්සාහ කරනවා නම් ඒක තමයි වටින්නේ.
ඔහු තැබූ ඒ සටහන...
"නිහඬ අම්මේ...
සතෙක්ටවත් හිංසාවක් නොකළ
සොඳුරු හදක් තිබුණා අම්මේ,
මට කවදාවත් හඬක් නගලා
බනින්නවත් බැරි වුණා අම්මේ.
මගේ හිනාවට ඔබේ ඇස්
පැලුණා වගේ දිලිසුණා,
මගේ කඳුළට ඔබේ හද
පිපුණා වගේ වෙව්ලුණා.
මාස තුනකට කලින් නේද
ඔබ මාව තනිකරලා ගියේ,
මට තාමත් තේරෙන්නෑ අම්මේ
ඇයි මාව මෙහෙම දාලා ගියේ.
දැන් මම දන්නවා අම්මේ
ඔබේ ආදරේ මොන තරම් ලොකුද කියලා,
ඒ ආදරේට මම පිං දෙනවා
නිවන් සුවම ලැබේවා කියලා.
ඔබේ පුතා මේ ලෝකේ
ඔබව අමතක නොකර ඉන්නම්,
සංසාරේ කොයි තැනක හිටියත්
අම්මේ... මම ආයෙත් ඔබව හොයන්නම්._"
මුහුණු පොතේ තැබූ සටහනක් ඇසුරෙන්