තායිලන්තයෙන් වාර්තා වුණු මේ සිදුවීම මේ වෙනකොටත් ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම අවධානය සහ ආදරය දිනාගෙන ඉවරයි කියලා තමයි ආරංචි වෙන්නේ.
මේ සංවේදී කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ වයස අවුරුදු 10ක "ග්‍රීන්" (Green) කියන පුංචි දියණියයි.
පසුගිය දවසක ඇයගේ අම්මාට හදිසි වැඩකට පිටතට යන්න සිද්ධ වෙලා තිබුණා. ඒ වෙලාවේ තමන්ගේ අවුරුද්දක් විතර වයසැති කිරිසප්පයා, ඒ කියන්නේ ග්‍රීන්ගේ පුංචි නංගිව බලාගන්න වගකීම පැවරුණේ මේ අවුරුදු 10ක දෝණිටයි. හැබැයි ඉතින් නංගිව බලාගන්න ඕන නිසා තමන්ගේ ඉස්කෝලේ ගමන, අධ්‍යාපනය නතර කරන්න මේ දූ සූදානම් වුණේම නැහැ. ඇය ක්ෂණිකව අපූරු තීරණයක් ගත්තා. ඒ තමයි තමන්ගේ පණ වගේ ඉන්න නංගිවත් වඩාගෙනම පාසල් යන්න.
එක අතකින් නංගිව වඩාගෙන, එයාට කිරි බෝතලය පොවන ගමන්, අනිත් අතින් පෑන අරන් පොතේ සටහන් ලියාගන්නවා...
මේ අපිරිමිත කැපවීම, දසුන දැකලා ඇස්වලට කඳුළු ආපු ඇයගේ පාසලේ ගුරුවරයා විසින් තත්පර 18ක කෙටි වීඩියෝවක් තමන්ගේ ටික්ටොක් ගිණුමට මුදාහැර තිබුණා.
එම වීඩියෝව අන්තර්ජාලයට එක්වීමත් සමඟ මිලියන ගණනක් මිනිස්සු මේ වීඩියෝව බලලා ඇයට ප්‍රශංසා කරමින්, ආශිර්වාද කරමින් කමෙන්ට්ස් දමා තිබුණා. ඒ වගේම මෙතනදී තවත් අගය කළ යුතුම කෙනෙක් ඉන්නවා. ඒ තමයි නංගිවත් පන්තියට කැඳවාගෙන එන්න ඉඩ දීලා, ඒ දරුවාගේ අසරණකම සහ ඉගෙනීමේ උනන්දුව තේරුම් ගත්තු ඇයගේ කරුණාවන්ත ගුරුවරයා...
අඩු පහසුකම් මැද වුණත් ඉගෙනගන්න තියෙන උනන්දුව සහ පවුලේ වගකීම එකට දරන මේ වගේ දරුවෝ, අද කාලේ සුළු දේටත් ජීවිතය එපා කරගන්න මුළු සමාජයටම ලොකු ආදර්ශයක්.
සමාජ මාධ්‍ය ඇසුරෙන්