නිවාඩුවක් ගත කරන්න ගිය පවුලක, නිදාගෙන සිටි 11 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මුහුණ මත වවුලෙක් වැසීම හේතුවෙන් ඔහුට මාරාන්තික 'ජලභීතිකා' (Rabies) රෝගය වැළඳී අවසානයේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ කනගාටුදායක පුවත හෙළි කරන්නේ කැනඩාවේ ප්‍රකට වෛද්‍ය සඟරාවක් වන Canadian Medical Association Journal මගිනි.
2024 වසරේදී මේ දරුවා තමන්ගේ ආදරණීය දෙමාපියන් සහ පවුලේ අය එක්ක කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) හි සුන්දර නිවාඩුවක් ගත කරමින් ඉඳලා තියෙනවා. එක රාත්‍රියක දරුවා තද නින්දේ පසුවෙද්දී එකපාරටම අවදි වෙලා තියෙන්නේ තමන්ගේ මුහුණේ මොකක්දෝ සතෙක් වහලා ඉන්නවා දැනීගෙනයි.
දරුවා බියට පත්වෙලා වහාම ඒ සතාව ඉවතට ගසා දමලා තියෙනවා. ඒ වෙලාවේ දරුවාගේ පියා වහාම ක්‍රියාත්මක වෙලා, මුහුණේ වැසූ වවුලාව භාජනයකට අල්ලාගෙන කිසිම හානියක් නොකර එළියට නිදහස් කරලා යවලා.
මේ කතාවේ වඩාත්ම සංවේදී සහ බියකරුම කොටස තමයි මේක. වවුලා මුහුණේ වැසුවත්, දරුවාගේ මුහුණේ කිසිම සීරීමක්, තුවාලයක් හෝ ලේ ගැලීමක් පිටතට පෙනෙන්නට තිබී නැහැ. ඒ වගේම වවුලාගේ හැසිරීමෙත් කිසිම අමුත්තක් නොතිබුණු නිසා, මේක සාමාන්‍ය සිදුවීමක් කියලා හිතපු දෙමාපියන් දරුවාව වෛද්‍යවරයෙක් වෙත රැගෙන යන්න උත්සාහ කරලා නැහැ.
නමුත් ඔවුන් දැනගෙන හිටියේ නැහැ මාරයා දරුවාගේ සිරුර ඇතුළට රිංගලා අවසන් කියලා!
සිදුවීම වී දින 19කට පසුව, දරුවාගේ මුහුණේ ඉදිමීමක් සහ මුහුණේ උග්‍ර සංවේදන අඩුවීමක් (Numbness) ඇතිවෙන්න පටන් අරන්.
බියට පත් දෙමාපියන් වහාම දරුවාව රෝහල් වෙත රැගෙන ගියත්, මුලදී වෛද්‍යවරුන්ට පවා මේක ජලභීතිකාව කියලා හඳුනාගන්න බැරි වෙලා තියෙනවා.
පළමු රෝග විනිශ්චය- මුහුණේ පැත්තක් පණ නැති වන Bell's palsy තත්ත්වය හෝ හර්පීස් වෛරසය නිසා ඇතිවූවක් යැයි සිතා ප්‍රතිවෛරස් ඖෂධ ලබා දී ඇත.
දෙවන රෝග විනිශ්චය- මුඛයේ සහ විදුරුමස්වල ඇතිවන Herpes gingivostomatitis ආසාදනයක් ලෙස අනුමාන කර ඇත.
නමුත් පසුදා වන විට දරුවාගේ තත්ත්වය අතිශය ශීඝ්‍රයෙන් නරක අතට හැරිලා. ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 (102°F) දක්වා ඉහළ ගිහින්, වතුර හෝ ආහාර ගිලීමට නොහැකි වී, දැඩි ව්‍යාකූලත්වයක් සහ දෘශ්‍ය මායාවන් (Hallucinations) පෙනෙන්නට පටන් ගෙන තිබෙනවා. අවසානයේ ආධාරක ශ්වසන නල පවා දමා ළමා දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටියදී මේ පුංචි මල් කැකුළ සදහටම මෙලොවින් සමුගෙන තිබෙනවා.
වෛද්‍ය විශේෂඥයන් පවසන පරිදි, වවුලන් වැනි සතුන්ගේ දත් ඉතාමත් කුඩා නිසා ඔවුන් සපා කෑවත් සමේ ලොකු තුවාලයක් හෝ ලේ ගැලීමක් සිදු නොවිය හැකියි. මතුපිටින් නොපෙනෙන ඉතා කුඩා සීරීමකින් පවා මාරාන්තික ජලභීතිකා වෛරසය සිරුරට ඇතුළු විය හැකියි.
ඒ නිසා නිදා සිටියදී හෝ වෙනත් අවස්ථාවක වවුලෙකු, සුනඛයෙකු හෝ වෙනත් වනසතෙකු ශරීරයේ දැවටීමක් හෝ ගැටීමක් සිදුවුවහොත්, කිසිදු තුවාලයක් නොපෙනුණත් නොසලකා නොහැර වහාම රෝහලකට ගොස් ජලභීතිකා එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍යම වේ!