උදේට වැඩට යන ගමන්, හවසට තේ බොන ගමන් රෝල්ස් එකක්, පැටිස් එකක්, එහෙමත් නැත්නම් පැණි බීම එකක් බොන එක දැන් අපේ ජීවිතේටම බද්ධ වෙලා. හැබැයි මේ කන කෙටි ආහාරවලින් ඔබේ ජීවිතේම කෙටි වෙන්න පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? ඔව්, මේක සෞඛ්‍ය අංශවලින්ම දෙන රතු නිවේදනයක්!
අපි කන මේ ෂෝට් ඊට්ස්වල පිරිලා තියෙන්නේ අධික තෙල්, ලුණු සහ සීනි. සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනෝජි ගමගේ කියන විදිහට මේ ආහාර නිසා අපේ ඇඟේ සීනි මට්ටම එකපාරටම ඉහළ පහළ යනවා. ඒකෙන් වෙන්නේ මොකක්ද දන්නවාද? අපේ ඇඟේ කුසගින්න පාලනය කරන හෝමෝන අක්‍රමවත් වෙනවා.
ඊටපස්සේ ඇඟට බඩගිනි නැති වුණත් නිකම්ම කන්න හිතෙනවා. ඒ කියන්නේ මේ කෑම කෑවම ආයේ ආයෙත් ඒ දේවල්ම කන්න ඇබ්බැහි වෙනවා. අන්තිමට වෙන්නේ මහත් වෙලා, දියවැඩියාව, හෘද රෝග වගේ බෝ නොවන රෝග ගොඩකට අපි නොදැනීම ගොදුරු වෙන එකයි.
ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ ප්‍රධාන කෑම වේල් තුනට අමතරව අනිවාර්යයෙන්ම මොනවා හරි හපන්න ඕනේ කියලා. හැබැයි ඒක සම්පූර්ණ බොරුවක්! වෛද්‍යවරු කියන විදිහට හොඳට වැඩුණු නිරෝගී පුද්ගලයෙක් සමබල ප්‍රධාන ආහාර වේල් ගන්නවා නම්, ඔහුට කිසිම විදිහකින් කෙටි ආහාර අවශ්‍ය වෙන්නේ නැහැ.
කෙටි ආහාර අවශ්‍ය වෙන්නේ වර්ධනය වෙන පොඩි දරුවන්ට සහ ගර්භණී හා කිරි දෙන මව්වරුන්ට විතරයි. ඒත් කඩෙන් ගේන රෝල්ස්, පැටිස්, බනිස් නෙවෙයි, පෝෂ්‍යදායී ස්වාභාවික ආහාර!
මේ ගැන ප්‍රජා වෛද්‍ය විශේෂඥ අරුන්දිකා සේනාරත්නත් අපූරු පැහැදිලි කිරීමක් කළා. ඇය කියන විදිහට, පාසල් ළමයි සහ වැඩ කරන අය අතරේ ජනප්‍රිය වෙලා තියෙන සීනි සහිත පැණි බීම, බිස්කට්, කේක්, රස කැවිලි, බේකරි කෑම (පාන්, බනිස්) සහ අධිසැකසුම් ක්ෂණික ආහාර කියන්නේ සම්පූර්ණයෙන්ම සීමා කළ යුතු වස විස ගොඩක්.
බඩගින්නක් ආවොත් මේ දේවල් වෙනුවට නැවුම් පළතුරු, එළවළු, ඇට වර්ග, තම්බපු බඩ ඉරිඟු, අල වර්ග, මුදවපු කිරි කෝප්පයක් වගේම සීනි නැති යෝගට් එකක් කන එක තමයි ඇඟට ගුණ. ඒ වගේම බොනවා නම් සීනි රහිත තේ, කෝපි හෝ ඖෂධීය පානයක් බොන්නත් වෛද්‍යවරු උපදෙස් දෙනවා.
ඉතින්, ඊළඟ වතාවේ කඩේට ගිහින් රෝල්ස් එකකට අත තියන්න කලින් දෙපාරක් හිතන්න. තාවකාලික රසය වෙනුවට ඔබේ වටිනා ජීවිතය බිල්ලට දෙනවාද කියලා තීරණය කළ යුත්තේ ඔබමයි!