කොල්ලුපිටිය පොලිස් වසමට අයත් පහළ බගතලේ පාර මුහුදු මාවත හංදිය අසලදී අද (23) පෙරවරුවේ ත්‍රීරෝද රථයකට ගිනි තබා, ඉන් අනතුරුව ධාවනය වෙමින් තිබූ දුම්රියකට පැන තරුණයකු සියදිවි හානිකරගෙන ඇතැයි පොලිස් මුලස්ථානය පවසනවා.
මෙසේ සියදිවි හානිකර ගෙන ඇත්තේ බදුරලිය, හැඳිගල්ල ජනපදය, දික්හේන, අක්කර හැත්තෑව ලිපිනයේ පදිංචිව සිටි එම්.කේ.ටී. රනිෂ්ක නමැති 26 හැවිරිදි තරුණයෙක්.
පොලිසිය පවසන පරිදි අද (23) පෙරවරු 09:30 ට පමණ අදාල තරුණයා විසින් පදවාගෙන පැමිණි රතු පැහැති ත්‍රීරෝද රථය මුහුදු මාර්ගය අසල නවතා ඊට ගිනි තබා තිබෙනවා.
ඉන් අනතුරුව ඔහු ඒ අසලින්ම පිහිටි දුම්රිය මාර්ගයට ගොස්, බම්බලපිටිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ අංක 59 දරණ මාතර සිට මරදාන බලා ධාවනය වූ දුම්රියට පැන ඇතැයි පොලිසිය පවසනවා.
දුම්රියේ ගැටීමෙන් බරපතල තුවාල ලැබූ තරුණයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබූ අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ගින්නෙන් ත්‍රීරෝද රථයට දැඩි හානි සිදුව ඇති අතර, කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ භටයින් පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමුවා.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ත්‍රීරෝද රථය බදුරලිය, හැදිගල්ල ජනපදයේ පදිංචි 34 වියැති කාන්තාවකට අයත් එකක් බවයි.
කෙසේ වෙතත්, මෙම තරුණයා ත්‍රීරෝද රථයට ගිනි තැබීමට සහ සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ත්‍රීරෝද රථයේ හිමිකාරිය සහ මියගිය තරුණයා අතර ඇති සම්බන්ධතාවය කුමක්ද යන්න පිළිබඳවද මෙතෙක් තොරතුරු හෙළි වී නැත.
සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.