නුවරඑළිය සංචාරක නිකේතනයක දී භෞතචිකිත්සකවරියක ඝාතනය කිරීම සහ ඝාතනයට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය ගැන මේ ඇසෙන්නේ විශේෂ ආරංචියක්.
මොවුන් ඊයේ (25 දා) නුවරඑළිය පොලිසිය විසින් නුවර එළිය මහෙස්ත්‍රාත් බුද්ධිකා හර්ෂණී ධර්මදාස වෙත ඉදිරිපත් කෙරුණා.
ඉන් අනතුරුව සැකකරුවන් පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නුවරඑළිය පොලිසිය කළ ඉල්ලීම මත මහෙස්ත්‍රාත්වරිය විසින් එම සැකකරුවන් පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහෙස්ත්‍රාත්වරිය අවසර දී තිබූ බවයි වාර්තා වෙන්නේ.
මෙසේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ, නාරම්මල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ක්‍රියාන් ජයසුන්දර, සැකකරුගේ බිරිඳ බව කියන 35 හැවිරිදි රත්නායක මුදියන්සේලාගේ නෙත්මි අමායා රන්නායක සහ ඝාතනයට සහාය ලබා දුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියැදුරු 49 හැවිරිදි ජයසිංහ ආරච්චිගේ රජිත සාලිය සමරසිංහ යන අයයි.
ප්‍රධාන සැකකරු සැකකරුගේ බිරිඳ සහ දරුවා වැල්ලවත්තේ සිට යාපනය දක්වා ධාවනය වූ බස් රථයේ ගමන් කරමින් සිටියදී වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් යාපනේ කයිනඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන නුවරඑළිය පොලිසිය වෙත 24 දා භාර දී තිබුණා.
එසේම ඝාතනයට සහාය දුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියැදුරු නුවරඑළිය පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, මෙම ඝාතනයට අනුබල දුන් ආරක්ෂක අංශ නිලධාරියකුද අත්අඩංගුවට ගැනීම සඳහා නුවරඑළිය පොලිසියේ කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.