සුන්දර මාදු ගඟ තීරය ඊයේ (25) උදෑසන මාරක බිමක් බවට පත්වුණේ කාගේත් නෙත්වලට කඳුළු එක් කරමින්. මිතුරන් දෙදෙනෙකු ඔරුවක නැගී මසුන් අල්ලමින් සිටි නිමේෂයකදී කිසිවෙකුත් නොසිතූ අයුරින් දරුණු කිඹුල් ප්‍රහාරයකට මුහුණ දීමට ඔවුන්ට සිදුව තිබෙනවා.
අම්බලන්ගොඩ, වතුගෙදර ප්‍රදේශයට අයත් මාදු ගඟ තීරයේදී තමයි මේ බිහිසුණු සිදුවීම වෙලා තියෙන්නේ. මසුන් අල්ලමින් සිටි මේ මිතුරන් දෙදෙනා වෙත කඩා වැදුණු යෝධ කිඹුලා ඔරුවට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, ප්‍රහාරයේ සැරටම ඔරුව ගඟ මැද පෙරළී ගොස් තිබෙනවා.
එහිදී එක් පුද්ගලයෙකු බේරී ඇති මුත්, අනෙක් තරුණයාට කිඹුල් ග්‍රහණයෙන් බේරීමට හෝ දිය රළ අතරින් නැගී සිටීමට අවස්ථාවක් ලැබී නැහැ. ඔහු අවාසනාවන්ත ලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අකල් මරණයට ගොදුරු වී ඇත්තේ වතුගෙදර ප්‍රදේශයේම පදිංචිව සිටි 32 හැවිරිදි තරුණයෙක්. ජීවිතය ජයගන්න වෙර දරපු, තරුණ ජීවිතයක් මෙලෙස නිමේෂයකින් අවසන් වීම මුළු ප්‍රදේශයටම මහත් ශෝකයක් ගෙන දී තිබෙනවා.
මාදු ගඟ ආශ්‍රිතව මෑතක සිට කිඹුල් ගහනය වැඩි වී ඇති බවටත්, ඔවුන් මිනිස් ක්‍රියාකාරකම් සිදුවන සීමාවන්ට නිතර පැමිණෙන බවටත් ප්‍රදේශවාසීන් පවසනවා. මේ බිහිසුණු සිදුවීම සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානය මඟින් මේ වනවිට වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.