ඒ සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබූ "ශිෂ්‍ය වීර දින" සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින්.
තමන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ (අන්තරේ) කැඳවුම්කරු ලෙස කටයුතු කළ ඒ අතීත අරගලකාරී වකවානුව ඔහු සිහිපත් කළේ සභාසන්නයේ සිටි කාගේත් අවධානය දිනාගනිමින්.
අද කාලේ විශ්වවිද්‍යාල සිසුන් බහුතරයක් ළඟ ස්මාර්ට් දුරකථන තිබුණත්, තමන් ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වය ගත් යුගයේ තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස් වූ බව අමාත්‍යවරයා පවසනවා.
"ඒ කාලේ අද වගේ හැමෝටම ජංගම දුරකථන තිබුණේ නැහැ. මුළු සරසවිය ඇතුළෙම ජංගම දුරකථනයක් තිබුණේ මට විතරයි.."
ඔහු පවසන්නේ එවකට සන්නිවේදන පහසුකම් සීමිතව තිබූ වටපිටාවක ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙයවීමේදී මුහුණ දුන් අභියෝගාත්මක ස්වභාවය පැහැදිලි කරමිනි.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ මෙරටට හඳුන්වා දීමට උත්සාහ කළ "ධවල පත්‍රිකාවට" එරෙහිව ජනතාව දැනුවත් කිරීමට රට වටා ගිය ගමනකදී සිදු වූ සංවේදී සිදුවීමක්ද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළා.
එම දැනුවත් කිරීම් සඳහා සංචාරය කරමින් සිටි දිනක, අධික බඩගින්න නිසා බත් ඉල්ලා හැඬූ ශිෂ්‍යයෙකු තමන්ට හමු වූ බවත්, ඒ මොහොතේ තමන් සන්තකයේ තිබූ මුදලින් එම සිසුවාට ආහාර වේලක් ලබා දීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, අතේ තිබූ මුදල් එම සිසුවාගේ ආහාර වේල වෙනුවෙන් වියදම් කිරීම නිසා, තමන්ට සහ සගයන්ට නැවත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දක්වා පැමිණීමට බස් රථයේ ගමන් ගාස්තු ඉතිරි වී නැත. පසුව ඔවුන් බස් රථයට මුදල් නොදී (ටිකට් පත් නොගෙන) ජයවර්ධනපුර සරසවිය දක්වා ගමන් කිරීමට සිදුවූ බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සිනහමුසු මුහුණින් යුතුව වැඩිදුරටත් මතක් කර සිටියා.