ඒ මහ දවල් පොදු සුසාන භූමියකට ඇතුළු වී, සොහොන් කොත් හාරමින් බලි පූජාවක් පවත්වමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු බකමූණ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟයි.
මෙම අසාමාන්‍ය සිදුවීම වාර්තා වන්නේ බකමූණ පොලිස් බල ප්‍රදේශයට අයත් යාය 25 ගම්මානයේ පිහිටි "12 යාය පොදු සුසාන භූමියෙන්".
පසුගිය (20) දින දහවල් 12:00 ට පමණ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකුට සුසාන භූමිය තුළ සිදුවන මෙම අසාමාන්‍ය ක්‍රියාව මුලින්ම දැකගන්නට ලැබී තිබෙනවා. ඔහු වහාම ඒ පිළිබඳව ගම්වාසීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
ගම්වාසීන් පැමිණ පරීක්ෂා කිරීමේදී දැකගත හැකි වී ඇත්තේ මීට සති දෙකකට පමණ පෙර මිහිදන් කළ මළසිරුරක් සහිත සොහොනක් සහ තවත් පැරණි සොහොනක් ආශ්‍රිතව, මිනී පෙට්ටි වළවල් පවතින ස්ථාන දෙකකින් හාරා ඇති අයුරුයි. සැකකාර කාන්තාවන් එම හෑරූ වළවල් තුළට යම් කිසි ද්‍රව්‍යයක් ඇතුළු කරමින් සිට ඇති අතර, සොහොන් කොත් මත මැටිවලින් සාදන ලද මිනිස් රූප තබා, පහන් දල්වමින් මෙම බලි පූජාව සිදුකර තිබේ.
ලැබුණු තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ බකමූණ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සුසාන භූමියට ළඟා වන විටත් ගම්වාසීන් විශාල පිරිසක් එහි රැස්ව සිට ඇත. එහිදී පූජාව සඳහා යොදාගත් ද්‍රව්‍ය ද සමඟ සැකකාර කාන්තාවන් දෙදෙනා පොලිස් භාරයට ගැනීමට හැකි වී තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවක් සහ බකමූණ, සරුබිම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවකි.
"මේ කාන්තාවන් මීට පෙරත් කිහිප වතාවක්ම මේ සුසාන භූමියට ඇවිත් මෙන්න මේ වගේ අද්භූත වැඩ කරලා තියෙනවා. මේවා නිසා දැන් අපිට ගමේ ජීවත් වෙන්නත් බයක් දැනෙනවා." යැයි ප්‍රදේශවාසීන් පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනාට එරෙහිව "පුද්ගලික හා පොදු සුසාන භූමි ආඥා පනත" යටතේ, සොහොන් කොත්වලට හානි සිදුකිරීමේ වරද සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට බකමූණ පොලිසිය කටයුතු කර ඇත.