තෙල්දෙණිය රෝහල ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී වයස අවුරුදු 33ක තරුණ කාන්තාවකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙම මරණය පිටුපස සැඟවුණු තොරතුරු එකින් එක එළියට එද්දී, මෙය සැබවින්ම මනුෂ්‍ය ඝාතනයක්ද නැතහොත් වෙනත් කුමන්ත්‍රණයක්ද යන්න පිළිබඳව සමාජය පුරා දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
ඊයේ (ජූනි 17) සවස තෙල්දෙණිය පොලිස් ස්ථානයට නාඳුනන පුද්ගලයෙකුගෙන් අමුතු දුරකථන ඇමතුමක් ලැබුණා. ඉන් කියවුණේ රෝහල අසල කාර් එකක් ඇතුළේ කාන්තා මළ සිරුරක් ඇති බවයි.
පොලිසිය වහාම ක්‍රියාත්මක වී සිදුකළ විමර්ශනවලදී හෙළිවුණේ, මෙම මරණය ගැන පොලිසියට ඔත්තුව දී ඇත්තේ වෙන කවුරුත් නොව මියගිය කාන්තාවගේ පෙම්වතා බවට සැලකෙන පුද්ගලයා විසින්ම බවයි! ඔත්තුව දී ඔහු මේ වන විට ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බවට සැක කෙරෙනවා.
මියගොස් ඇති කාන්තාව වැලිගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තරුණියක්. ඇය පසුගිය ජූනි 03 වන දින සිට ජූනි 16 වන දින දක්වා දින 13ක් තිස්සේ නුවරඑළිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බව පොලිසිය සොයාගෙන තිබෙනවා.
මේ අතර, මෙම අබිරහස් මරණයේ සුලමුල සෙවිය හැකි ප්‍රබලතම සාක්ෂියක් නුවරඑළියේ හෝටලයේ CCTV කැමරාවල සටහන් වී තිබෙනවා.
එහි දැක්වෙන්නේ මියගිය කාන්තාව සිහිසුන්ව හෝ මියගොස් සිටියදී, පෙම්වතා යැයි සැක කෙරෙන පිරිමි පුද්ගලයා විසින් ඇයව දෑතින් වඩාගෙන (උස්සාගෙන) හෝටල් කාමරයෙන් පිටතට රැගෙන යන අයුරුයි. ඉන් අනතුරුවයි ඇගේ මළ සිරුර තෙල්දෙණියෙන් හමුවන්නේ.
මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තෙල්දෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
හෝටල් කාමරය ඇතුළතදී ඇයට වස දුන්නේද, නැතහොත් ඝාතනය කර මෙලෙස කාර් එකක දමා ගියේද යන්න සෙවීමට නුවරඑළිය පොලිසිය සහ තෙල්දෙණිය පොලිසිය එක්ව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.