මෙරට පාසල් දරුවන්ගෙන් 20% පමණ පිරිසක් මුහුණදී සිටින අවාසනාවන්ත තත්වයක් ගැනයි මේ විශේෂ ආරංචිය. ඔබ නොදන්නවා වුණාට සමහරවිට ඔබේ දරුවාත් මෙන්න මේ කියන තත්වයේ පසුවන්නට පුළුවන්.
පාසල් සිසුන් බොහෝමයක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට හෙළිවීමෙන් අනතුරුව දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පාසල් ආපන ශාලා සඳහා නව මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කර තිබුණා.
මෙම මාර්ගෝපදේශන මාලාවට අදාළව විශේෂ චක්‍රලේඛයක් සියලුම පළාත්, කලාප අධ්‍යාපන කාර්යාලවලට සහ විදුහල්පතිවරුන්ට යොමු කරන බවත් ඊට අදාළ වැඩසටහන ලබන සඳුදා (22 වැනිදා) නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව) පී. සුදර්ශන පීරිස් පැවසුවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලයේදී ඊයේ (17 වැනිදා) මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මෙම චක්‍රලේඛයට අනුව රජයේ පාසල් සහ අර්ධ රාජ්‍ය පාසල්වල ආපනශාලාවල අලෙවිය තහනම් ආහාර වට්ටෝරු ගණනාවක්ම ඇතුළත් කර ඇතැයි ද ඔහු පැවසුවා.
මෙරට මිනිස්සු අඩු වයසින් මියයන තත්ත්වයක් වාර්තා වන බවත් පෝෂණීය හා පිරිසුදු ආහාර රටාවකට මෙරට දරුවන් යොමු කිරීම, බෝ නොවන රෝගවලට ගොදුරුවීම අවම කිරීමට, නිවැරැදි ආහාර රටාවකට ඔවුන් යොමු කිරීම ඇතුළු මූලික අරමුණු පහක් යටතේ පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය සකස් කොට ඇතැයි ද ඔහු සඳහන් කළා.
මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (පෝෂණ අංශය) විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න කියා සිටියේ මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට දහයයි දශම එකක් (10.1%) මිටි බවයි. මීට අමතරව සියයට අටයි දශම හයක් (8.6%)ක් කෘශ බවින් ද, සියයට දාසයයි දශම එකක් (16.1%)ක් අඩු බරින්ද සියයට බිංදුවයි දශම පහයි හතක (0.57%) ක් අධි බර (ස්ථුලභාවය) සහිත දරුවන් බවයි.
එසේම මෙරට කාන්තාවන්ගෙන් සියයට හතළිස් හතයි දශම හය (47.6%)ක් අධි බරින් පෙළෙන බවත් පිරිමින්ගෙන් සියයට තිහක් (30%) අධි බරින් ද පෙළෙන බව ඇය සඳහන් කළාය. ඒ අතරින් කාන්තාවන්ගෙන් සියයට පහළොවක (15%)ක් දැඩි ස්ථුලභාවයෙන් හා පිරිමින්ගෙන් සියයට හයක් (6%) දැඩි ස්ථුලභාවයෙන්ද යුක්ත බවයි.
මේ තත්ත්වයට හේතු වී ඇත්තේ ආහාර රටාවේ ගැටලු බවට විද්‍යාත්මකව හෙළිව තිබීම නිසා පාසල් දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා වස විසෙන් තොර ආහාර රටාවකට හුරු කිරීම සඳහා මෙම පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශනය විද්වත් කමිටුවක් විසින් සකස් කළ බවද වෛද්‍යවරිය කියා සිටියා.
පාසල් ආපන ශාලාවල අලෙවි නොකළ යුතු ආහාර වර්ග පිළිබඳ නිරන්තරයෙන් සොයා බැලීම පාසල්වල විදුහල්පති ඇතුළු අදාළ අංශ විසින් සිදුකරන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ බුද්ධිකා සුදසිංහ සඳහන් කළා.
ඒ අනුව පාසල් ආපනශාලාවල පහත සඳහන් ආහාර වර්ග අලෙවි කිරීම තහනම් බවද ඇය පවසා තිබුණා.
සොසේජස්, මීට් බෝල්ස්, බේකන් සොසේජස් බනිස්, බර්ගර්, හොට්ඩෝග්, පීසා සබ්මැරින්, ක්‍රීම් බනිස්, ජෑම් බනිස්, පේස්ට්‍රි, කෘත්‍රිම රසකාරක යෙදූ චිලිපේස්ට්, සුප් කැට, සීසනින් පවුඩර් යෙදූ ආහාර, ක්ෂණික සුප් වර්ග, තක්කාලි සෝස්, සෝයා සෝස්, ක්ෂණික නූඩ්ල්ස් වර්ග, පැකට් හා ටින් කරන ලද අච්චාරු වර්ග, චුයින්ගම් ටොෆි, ලොසින්ජර්, ලොලිපොප්, දෝසි, කිසස්, ජුජුබ්ස්, බොන්බයි මොටයි, බුල්ටෝ, අයිස් පැකට්, අයිස් පලම්, ජෙලි වර්ග, අධික ජෙලටින් අඩංගු ආහාර වර්ග, බූන්දි, මස්කට්, බයිට්, මුරුක්කු, චොකලට් වර්ග, සියලු බිස්කට් වර්ග, කේක් වර්ග, අධික සීනි සහිත පුඩින් වර්ග, කාබනික දෑ අඩංගු බීම වර්ග, රසකාරක හා වර්ණ කාරක අඩංගු පාන වර්ග, යෝගට්, ශක්තිපාන වර්ග, ක්ෂණික තේ හා කෝපි වර්ග ආදිය වෙනවා.
මෙම මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග යන අයද අදහස් දැක්වුවා.