ඒ, පකිස්තාන හමුදාවට අයත් ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක් මුසෆරබාද් නගරය අසලදී දරුණු ලෙස කඩා වැටීමේ සිද්ධියක්.
මේ අනතුරෙන් යානයේ ගමන් ගත් උසස් හමුදා නිලධාරීන් ඇතුළු සියලුම දෙනා එතැනම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පකිස්තාන හමුදාව නිල වශයෙන් නිවේදනය කරන්නේ.
පකිස්තාන හමුදා මාධ්‍ය අංශය අද (10) නිකුත් කරපු නිවේදනයකට අනුව, අනතුරට ලක්වෙලා තියෙන්නේ පකිස්තාන හමුදා ගුවන් සේවයට අයත් Mi-17 වර්ගයේ ප්‍රබල හෙලිකොප්ටර් යානයක්.
යානය ගුවන්ගත වීමට උත්සාහ කරන අවස්ථාවේදීම සිදුවුණු දරුණු තාක්ෂණික දෝෂයක් නිසා මෙලෙස මුසෆරබාද් නගරය අසලට කඩා වැටී තිබෙනවා. යානය ඇතුළේ හමුදා නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ කී දෙනෙක් හිටියාද කියලා හමුදාව මෙතෙක් නිශ්චිත සංඛ්‍යාවක් හෙළි කරලා නැතත්, ඇතුළේ හිටපු කිසිම කෙනෙක් ජීවිත බේරාගෙන නැති බවයි වාර්තා වෙන්නේ.
පකිස්තාන පාලනයේ තියෙන කාශ්මීර දේශීය රජය විසින් මෑතකදී එරට ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක කණ්ඩායමක් "ත්‍රස්ත විරෝධී පනත" යටතේ තහනම් කරලා තියෙනවා. ඊට එරෙහිව මේ තහනම් කරපු කණ්ඩායම විසින් මුසෆරබාද් නගරය ඇතුළේ දැවැන්ත විරෝධතා පවත්වන්න සූදානම් වෙනවා කියලා තොරතුරු ලැබිලා තිබුණා.
මේ නිසා පසුගිය දින කිහිපය පුරාම මුසෆරබාද් නගරය සහ ඒ අවට ප්‍රදේශවල දැඩි ආරක්ෂක රැකවල් තර කරලා, හමුදාව සීරුවෙන් තබලයි තිබුණේ.
නගරය පුරාම දැඩි හමුදා ආරක්ෂාවක් සහ නොසන්සුන්කාරී තත්ත්වයක් පවතින මොහොතක, හමුදා හෙලිකොප්ටරයක් මේ විදියට එකපාරටම කඩා වැටීම පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් හෝ ප්‍රහාරයක් තිබේද යන්න පිළිබඳවද ජාත්‍යන්තර මාධ්‍ය තුළ මේ වනවිට දැඩි කතාබහක් ඇතිවෙමින් පවතිනවා.
අරුණ පුවත්පත ඇසුරෙන්