පසුගිය 05 වැනිදා මේ “සෙනෙහසේ කැදැල්ලේ” එක පාරටම ගිනි රකුසා රජ වෙන්න පටන් ගත්තේ කාටවත් හිතාගන්න බැරි විදිහටයි. ගොඩගසා තිබුණු මෙට්ට වගයකින් ඇවිළුණු ගින්න, බිත්ති දිගේ වහලටම ඇවිලිලා යද්දී ඒ ඇතුළේ හිටපු අසරණ මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නැති වුණා. මොකද ඒ ඇතුළේ හිටපු සමහරු ආබාධිතයි, තවත් පිරිසක් තනිවම තීරණයක් ගන්න බැරි රෝගීන්.
හැබැයි වඩාත්ම කම්පනදායී සිදුවීම තමයි, 15 දෙනෙකුට ඉන්න පුළුවන් මේ ඉඩක අසරණ නේවාසිකයෝ 71 දෙනෙක්ම ඉඳලා තියෙනවා! ඒ විතරක් නෙවෙයි, රජයේ කිසිම ආයතනයක ලියාපදිංචි නොකර, කිසිම ආරක්ෂිත ක්‍රමවේදයක් නැතුව මේ මන්දමානසික අය පැනලා යයි කියලා ඔවුන්ව දම්වැල්වලින් බඳලයි තියලා තියෙන්නේ...රජයේ නිලධාරීන් කොච්චර කිව්වත් මේ ස්ථානයේ අයිතිකාරයා ඒ හැමදේටම ඉඳලා තියෙන්නේ ‘නෑසුණු කන්’ ඇතිවයි.
මේ ගින්න දැකලා මුලින්ම දුවගෙන ආවේ බටගොඩ ගමේ අයයි. තමන්ගේ ජීවිතේ ගැන පවා නොහිතා ගිනි ජාලාව මැදට පැනපු ඒ වීර තරුණයෝ කිහිපදෙනෙක් ඒ වෙලාවේ වෙච්ච දේ විස්තර කළේ මෙන්න මෙහෙමයි.
"අපි දුවගෙන එනකොට ගේට්ටු ඉබ්බො දාලා ලොක් කරලා.... ජනෙල් දොරවල් ඔක්කොම වහලා තිබුණෙ. අපේ මාමා කෙනෙක් තාප්පෙන් පැනලා තමයි ගේට්ටුව ඇරියේ. දොරවල් කඩලා ඇතුළට ගිහින් ලණුවලින් ගැටගහලා තිබුණ මනුස්සයෙක්ව තමයි අපි ඉස්සෙල්ලාම ඇදලා ගත්තේ. දුමයි ගින්දරයි පුදුම සැරයි. කොහොම හරි අපි 8 දෙනෙක් විතර එළියට ගත්තා. පාරේ ගිය ත්‍රීවීල්වලට කෑගැහුවත් සාක්කි දෙන්න වෙයි කියලා එකක්වත් නැවැත්තුවේ නැහැ..පස්සේ ගමේ මාමා කෙනෙක්ගේ ඩිමෝ බට්ටෙක් තල්ලු ස්ටාර්ට් දාලා තමයි ඒකට මිනිස්සුන්ව පැටෙව්වෙ. තවත් අය 'අනේ අපව බේරගන්න' කියලා කෑගැහුවා. හැබැයි කිට්ටු වෙන්න බැහැ... මගේ දෑස් ඉදිරිපිටදීම එක අසරණයෙක් අත්දෙක හොල්ලද්දීම ගිනි ජාලාවකින් වැහිලා ගියා... අම්මෝ ඒක මතක් කරන්නත් බෑ..."
අදහස් දැක්වූ තවත් තරුණයෙක්
"අපි ඉන්නකොට ප්‍රගීත් දුවගෙන ආවා වැඩිහිටි නිවාසෙ ගිනි ගන්නවා කියලා. අපි දුවලා යනකොට මුළු පැත්තක්ම ගිනි ගන්නවා. අර අය අමුතුම විදිහට කෑගැහුවේ. අපි බලද්දී 6-7 දෙනෙක් බාත්රූම් එකක හිරවෙලා... අපි බාත්රූම් එකේ ෂීට් අයින් කරලා උඩට නැගලා එක එක්කෙනාව ඇදලා ගත්තා. සමහරුන්ගේ ඇඳුම් පවා පිච්චිලා ගිහින්... ඒත් ඒ අයගේ විලාපයට අපිට අහක බලාගෙන ඉන්න බැරි වුණා."
එතැනට ආපු තවත් වීර තරුණයෙක් සිද්ධිය ගැන කීවේ ඇඟ කිළිපොලා යන කතාවක්.
"සමහර අයව උස්සලා ගන්නකොට ඇඟේ හම ගැලවිලා මගේ අතට ආවා... තවත් සමහරු පිච්චිලා වේදනාවට තමන්ගේම හම අයින් කර කර ඉන්නවා. අපි වතුර ටැංකිවල බට ගලවලා වහලෙට හැලුවත් වැඩක් වුණේ නැහැ. දුම් රොටු නිසා දෑස් නිලංකාර වෙලා ගියා."
"මරලතෝනි තිය තිය මිනිස්සු පණපිටින් පිච්චෙනවා මගේ ජීවිතේට මම දැක්ක පළමුවෙනි වතාව. මට කලන්තෙ දාන්න වගේ ආවා. අපි හරිම අමාරුවෙන් පිටිපස්ස පැත්තෙන් ගිහින් 7-8 දෙනෙක් බේරගත්තා."
මේ හැමදේම අස්සේ අසන්නට ලැබුණු අවාසනාවන්තම සහ කණගාටුදායකම පුවතක් අසේල අපිට කිව්වා. ඒ, ගම්මුන් එකතු වෙලා ගින්නෙන් බේරගෙන මිදුලට ගෙනාපු එක කාන්තාවක්, "අනේ මගේ මාලේ ගේ ඇතුළේ වැටිලා..." කියා නැවතත් ගිනි ගන්නා නිවස ඇතුළටම දුව ගිය බවයි... ඇය ඒ රත්තරන් මාලය නිසාම අවසානයේ ගින්නට බිලිවී අවසන් ගමන් ගොස් තිබුණා.
කොහොම වුණත්, සෝෂල් මීඩියා වලට ව්‍යාජ ආදරයක් පෙන්නලා අසරණයන්ව දම්වැල් දාලා හිර කරපු තිරිසන් මිනිස්සු ඉන්න රටක, තමන්ගේ ජීවිතය පවා පරදුවට තබා අසරණයන් බේරගන්න ගිනි ජාලාවට පැනපු මේ බටගොඩ ගමේ වීර තරුණයන් මුළු රටටම දුන්නේ නියම "මිනිස්කමේ" ආදර්ශයක්.