ඒ වගේ ඇඟ කිළිපොලා යන සිදුවීමක් වවුනියාව, ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
පාසල් ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය කරන, තමන්වම ‘පුංචි පාතාලය’ ලෙස හඳුන්වා ගන්නා සිසුන් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුමකින් සිසුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
පොලිස් පරීක්ෂණවලින් හෙළි වෙලා තියෙන විදිහට මේ ගැටුම ඊයේ පෙරේදා පටන් ගත්තු එකක් නෙවෙයි. මීට පෙර පසුගිය මාර්තු මාසයේදී මඩුකන්ද ප්‍රදේශයේදී මේ සිසුන් දෙපිරිස මුලින්ම ගහගෙන තියෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ "ක්‍රිකට් පිත්තක්" මුල් කරගෙන ඇති වුණු පුංචි වචන හුවමාරුවක්.
එදා හිතේ හිර කරගෙන හිටපු ඒ ක්‍රෝධය, වෛරය දිනෙන් දින අළුයට ගිනි පුපුරු වගේ ලියලමින් තිබිලා තියෙනවා.
පසුගිය මාර්තු මාසයේ තිබුණු ප්‍රශ්නය ඉකුත් 31 වැනිදා ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ වැවක් අසලදී යළිත් කරළියට ඇවිත් තිබෙනවා. එහිදී දෙපිරිස වචනයෙන් වචනය වර්ධනය කරගෙන, පාලනයෙන් තොරව තිරිසනුන් වගේ මරාගෙන තියෙනවා.
මෙහිදී ප්‍රතිවිරුද්ධ කල්ලියේ දරුණු පහරදීම්වලට ලක්වුණු අහිංසක සිසුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි ඉරට්ටපෙරියකුලම් පොලිසිය පවසන්නේ.
මේ ගැටුම සිද්ධ වෙච්ච වෙලාවේ කට්ටියක් කරලා තියෙන්නේ මේක වීඩියෝ කරපු එකයි. දින දෙකකට පෙර සිද්ධ වුණු මේ මාරක ගැටුමේ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් එක්කම පොලිසිය වහාම ක්‍රියාත්මක වී තිබෙනවා.
සමාජ මාධ්‍ය හරහා වීඩියෝව පරීක්ෂණ කළ පොලිසිය, මේ සිද්ධියට සිසුන් හත්දෙනෙකු සෘජුවම සම්බන්ධ වී ඇති බව සොයාගෙන තිබෙනවා. ඒ අනුව ඉන් සිව්දෙනකුව ඊයේ (03) ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.