මිට වසරකට කලින් නොකියාම සැඟවිලා ගිය ඇය ගැන කවුරුත් කතා කලේ සංවේගයෙන්. හදිසි රෝගී තත්වයක් නිසා නොසිතූ මොහොතක නික්ම ගිය අචිනිගේ වියෝව එදා මෙන්ම අදටත් බොහෝ දෙනාගේ හදවත් සංවේදී කළ දෙයක් වුණා. මොළයේ හටගත් ගෙඩියක් නිසා ඇයට මේ අවාසනාවන්ත ඉරණමට මුහුණදෙන්නට සිදුවුණේ ඉකුත් වසරේදීයි. කොහොම වුණත් ඇයට ආදරය කරන ඇයගේ ආදරණීය මිතුරු කැළ මේ වෙනකොටත් සමාජ මාධ්‍ය තුළ අන්න ඒ සිදුවීම ගැන ඇයගේ මිතුරියක් හද සසල කරන පණිවිඩ එක්කරලා තිබුණේ මෙන්න මේ විදිහටයි.
මගේම ආදර අචිනි,
අදට අවුරුදු දෙකක්..
ඔයා මාව දාලා ගිහින් අවුරුදු දෙකක්.
ඒත් මට තාමත් දැනෙන්නේ
ඒක අද ඊයේ වගේ.
ඔයාගේ කටහඬ,
ඔයාගේ හිනාව,
මට තාමත් ඇහෙනවා වගේ.
කාලය ගෙවිලා ගියා
හැමදේම වෙනස් වුණා..
මිනිස්සු වෙනස් වුණා..
ඒත් ඔයා නැති හිස්කම
කිසිම දවසක වෙනස් වුණේ නැහැ.
සමහර රෑවල් තියෙනවා,
හැමෝම නිදාගත්තට පස්සේ,
මම තනියම අහස දිහා බලන් ඉන්නවා.
තරු අතරින්
ඔයාගේ මුහුණ හොයනවා.
“ඔයා කොහේ හරි ඉදන් මං දිහා බලන් ඉන්නවා නේද?”
කියලා මං මගෙන්ම අහනවා.
උත්තර නැති වුනත්
මගේ හිත දන්නවා,
ඔයා කොහේ හරි ඉඳගෙන
මං දිහා බලන් ඉන්නවා කියලා.
මට තාමත් ඔයාට කතා කරන්න හිතෙනවා.
මගේ ජීවිතේ වෙන දේවල් කියන්න හිතෙනවා.
මට ලැබෙන සතුටු,
මට එන දුක්,
මගේ අලුත් හීන,
මගේ බිඳුණු හිත..
හැමදේම ඔයා එක්ක බෙදාගන්න හිතෙනවා..
මගේ දේවල් ඇලපිල්ලක් ඉස්පිල්ලක් අඩු නැතුව දැනගෙන හිටියේ ඔයා විතරයි.. ඒ වගේම තමයි ඔයාගේ දේවලුත්..
ඒත් හැම වතාවෙම
මගේ ඇස් කඳුළුවලින් පිරෙනවා.
මොකද මට මතක් වෙනවා..
ඔයා තවත් මාව ඇහෙන මානෙක නැහැ කියලා.
මිනිස්සු කියනවා
කාලය හැම තුවාලයක්ම සුව කරනවා කියලා.
ඒත් ඔයා නැති වුණු වේදනාව
කාලය සුව කළේ නැහැ.. සුව වෙන්නෙත් නෑ..
ඒ වේදනාව අදත් වෙනසක් නැතිව ඒ විදිහටම දැනෙනවා අචිනි..
මට අපේ කතා මතක් වෙනවා.
අපි හේතුවක් නැතුව හිනා වුණු හැටි මතක් වෙනවා.
අපි හීන දැකපු හැටි මතක් වෙනවා.
අපි දෙන්නාට දෙන්නා
"මොන දේ උනත් මම ඉන්නවා" කියපු හැටි මතක් වෙනවා.
දැන් ඒ හැමදේම
මතකයන් විතරයි.
ඒත් ඒ මතකයන්
මගේ ජීවිතේ වටිනාම වස්තුව.
ඔයා මගේ හොදම යාලුවා විතරක් නෙවෙයි.
ඔයා මගේ පවුල.
ඔයා මගේ safe place එක.
ඔයා මගේ හිතේ කවදාවත් පුරවන්න බැරි හිස්තැන.
සමහර වෙලාවට මම හිතනවා..
ඔයා තාමත් මෙහෙ හිටියා නම්
අපි කොච්චර හිනා වෙයිද කියලා.
තවත් කොච්චර ලස්සන මතකයන් අපි දෙන්නටතියෙයිද කියලා
තවත් කොච්චර හීන පස්සෙ යයිද කියලා.
ඒත් ජීවිතේ
අපිට ඕන විදිහට ලියවෙන්නෙ නැහැ.
ඒක තමයි මට පිළිගන්න අමාරුම දේ.
මම කොච්චර ඔයාව මතක් කළත්..
කොච්චර ඇඬුවත්..
කොච්චර එක මොහොතක් ආයෙත් ඔයා එක්ක ඉන්න ප්‍රාර්ථනා කළත්..
ඒ අවස්ථාව මට කවදාවත් ආයෙත් ලැබෙන්නේ නැහැ.
ආදරයෙන් මිනිස්සුන්ව රඳවගන්න පුළුවන් වුණා නම්,
ඔයා කවදාවත් මාව දාලා යන්නේ නැහැ..
ඔයාට එහෙම මාව දාලා යන්නත් බෑ..
හැමදාමත් මම ඔයාට ආදරෙයි.
හැමදාමත් මට ඔයාව මතක් වෙනවා.
හැමදාමත් ඔයා මගේ හිතේ ජීවත් වෙනවා.
එක දවසක..
කොහේ හරි..
කොයි ලෝකෙක හරි..
අපි ආයෙත් මුණගැහෙයි.
එදා වෙනකම්,
මම ඔයාගේ මතකයන් පරිස්සමින් තියාගන්නම්.
මම ඔයාට ආදරේ කරන එක නවත්තන්නේ නැහැ.
මම ඔයාව අමතක කරන්නේ නැහැ.
හැමදාමත්..
මගේ හිතේ ජීවත් වෙන
මගේ ආදරණීය හොඳම යාලුවා ඔයා..
හොදම යාලුවො එහෙම අනිත් යාලුවො තනි කරලා දාලා යන්නෙ නෑ නෙහ් අචිනි..
මරණය ඔයාගේ ජීවිතේ අරන් යන්න පුලුවන් උනාට
මගේ ආදරය අරගෙන යන්න එයාට කවදාවත් බෑ..
අපි ආයෙ ඉක්මණට හම්බෙමු.. එතකම් සුවෙන් නිදන්න.. මං ආදරෙයි මහ ගොඩක්.. ඔයා නැතුව පාලුයි සුදු නෝනා..
මං ඔයාගේ භාගි..,
