ඒ ලංකාවට විතරක් නෙවෙයි, මුළු විද්‍යා ලෝකයටම අලුත්ම "මී" විශේෂයක් ලංකාවේ පර්යේෂකයෝ පිරිසක් විසින් සොයාගැනීමත් එක්කයි.
හැබැයි මේක සාමාන්‍ය මීයෙක් නෙවෙයි. මේ මීයා හමුවෙලා තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ තියෙන, ලෝක උරුමයක් වෙච්ච දුම්බර කඳු වැටියට අයත් පුවක්පිටිය නිම්නයෙන්!
ලංකාවේ නම ලෝක සිතියමේ රන් අකුරින් ලියවන්න මේ පර්යේෂණය කරලා තියෙන්නේ අපේ රටේ ප්‍රසිද්ධ මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් පිරිසක්. ඒ තමයි මහාචාර්ය සුයාමා එච්. බෝයගොඩ, මහාචාර්ය මාධව මීගස්කුඹුර සහ ආචාර්ය කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි කියන මහත්ම මහත්මීන්.
ඔවුන් කරපු දීර්ඝ පර්යේෂණයකින් පස්සේ මේ අලුත් සතා ගැන විද්‍යාත්මක පත්‍රිකාව ලෝක ප්‍රකට "ZooKeys" විද්‍යා සඟරාවෙත් පළ කරලා ඉවරයි. දැන් මුළු ලෝකයම මේ සතා ගැන හොයනවා.
මෙන්න මේ අලුත් මීයාගේ උප්පැන්න සහතිකය..
මේ සතා ලංකාවටම විතරක් ආවේණික එකෙක්. ඒ කියන්නේ ලෝකේ වෙන කොහේවත් මේ මීයා නැහැ. විද්‍යාඥයෝ මේ සතාට අපූරු නම් කිහිපයකුත් තියලා තියෙනවා:
විද්‍යාත්මක නාමය: Mus dumbara (මුස් දුම්බර)
ඉංග්‍රීසි නාමය: Dumbara valley spiny mouse
සිංහල නාමය: දුම්බර කටු හීන් මීයා
සාමාන්‍යයෙන් මේ කටු හීන් මීයන් ගණයට අයත් සත්තු බහුතරයක් ජීවත් වෙන්නේ වියළි කලාපීය පරිසර පද්ධතිවලයි. ඒ කියන්නේ රස්නේ පළාත්වල.
හැබැයි හැමෝගෙම ඇස් උඩ ඉන්දවමින් මේ අලුත් "දුම්බර කටු හීන් මීයා" හමුවෙලා තියෙන්නේ අධික සීතල සහ තෙතමනය තියෙන තෙත් කලාපීය කඳුකර වනාන්තරයකින්! මේක තමයි විද්‍යාඥයෝ පවා මවිත කරපු ලොකුම අභිරහස වෙලා තියෙන්නේ.
දුම්බර ලෝක උරුම වනාන්තරය ඇතුළේ අපි තවමත් නොදන්නා, මිනිස් ඇසට හසුනොවුණු තවත් කෙතරම් රහස් සැඟවී තිබෙනවාද යන්න මේ සොයාගැනීමෙන් නැවත වරක් තහවුරු වෙනවා. අපේ රටේ පරිසරය රැකගත යුතුයි කියන්නේ නිකන් නෙවෙයි කියලා දැන් පැහැදිලියි නේද?