හැබැයි මේ සුන්දර ගීතය පිටුපස රසිකයන් මෙතෙක් නොදන්නා, සිනමා පටයක් වගේ ලස්සන අතීත කතාවක් තියෙනවා. ඒ අතීතය ගැන ගායන ශිල්පී ලක්ෂ්මන් අපට කිව්වේ මෙන්න මෙහෙම කතාවක්.
"ගොඩක් අය මගෙන් අහනවා 'මට ඉබින්න තහනම් ඇයි ඔය සුදු කම්බුල්...' කියලා සිංදුවේ කියවෙන්නේ ඇත්තටම සුදු මුහුණක් ළඟ තියාගෙනද කියලා. ඔව්, ඒක ඇත්ත! මේ සිංදුවේ මෙලඩිය හැදුනේ ලංකාවෙන් දහස් ගණනක් ඈත තියෙන ස්විස්ටර්ලන්තයේ සුන්දර හිම කඳු මුදුනක් අසලදී.
ඒ වෙලාවේ මගේ ළඟ තිබුණේ මගේ ගිටාර් එකයි, මම කපාගත්තු සිංදු කොළයයි විතරක් නෙවෙයි. මාත් එක්ක ප්‍රංශ යුවතියකුත් ඒ වෙලාවේ එතන හිටියා. ඇත්තටම ඒ සුදු කම්බුල් ඇති ප්‍රංශ යුවතිය තමයි මේ සිංදුවේ මුල. මම හිතන්නේ ඒ අපූරු පටන් ගැන්ම සහ පරිසරය නිසා වෙන්න ඇති මේ සිංදුව එච්චරටම ලයාන්විත වුණේ."
ඒ දවස්වල මම හිටියේ ප්‍රංශයේ. ඒ කාලේ ප්‍රංශයට කෙලින්ම ගුවන් ගමන් තිබුණේ නැහැ. ලංකාවේ පත්තර ප්‍රංශයට එන්නේ සති දෙකකට සැරයක්. ඉතින් මම පෝලිමේ ඉඳලා පත්තර එකතු කරනවා. හැබැයි මම පත්තර ගත්තේ ප්‍රවෘත්ති කියවන්න නෙවෙයි, පත්තරවල තියෙන කවි පිටු එකතු කරන්න.
ඔහොම බලද්දී දවසක් ලංකාදීප සැදැල්ල කවි පිටුවේ තිබ්බා හරිම ලස්සන කවියක්. මම ඒ කවිය කපලා මගේ ළඟ එකතු කරගත්තා. ඒක ලියලා තිබුණේ ශකුවි කියලා කෙනෙක්. එතකොට මම දැනගෙන හිටියේ නැහැ මේ ශකුවි කියන්නේ කවුද කියලා. මොකද මම අවුරුදු 15ක් තිස්සේ ලංකාව එක්ක කිසිම සම්බන්ධයක් නැතුවයි හිටියේ. කවිය ලස්සන නිසා විතරක් ළඟ තියාගෙන හිටපු ඒ කවිය තමයි පස්සේ අර හිම කන්ද ගාවදී ලස්සන ගීතයක් වුණේ.
පස්සේ කාලෙක මම ලංකාවට ඇවිත් කැසට්, සී.ඩී පටි කරන්න යනකොට මේක කවුද ලිව්වේ කියලා හොයාගන්න අවශ්‍ය වුණා. ඉතින් මම මගේ පත්තර ක්ෂේත්‍රයේ යාළුවෙකුට කතා කරලා ඇහුවාම එයා තමයි කිව්වේ ‘ශකුවි’ කියන්නේ සැදැල්ල පත්තරේ සංස්කාරක ශාන්ත කුමාර විතාන මහත්මයාට කියලා. එදා ඉඳන් ඔහු මගේ හොඳම යාළුවෙක් වුණා."
මේ අතර ලක්ෂ්මන්ගේ ජීවිතයේ අමතක නොවනම සිදුවීමක් සිද්ධ වෙන්නේ ප්‍රවීණ ගී පද රචක රත්නශ්‍රී විජේසිංහයන් හමුවීමට ගිය අවස්ථාවේදියි. ප්‍රවීණ සංගීතවේදී විශාරද ගුණදාස කපුගේ සූරීන් තමයි ලක්ෂ්මන්ව රත්නශ්‍රී මහතා ළඟට යොමු කරලා තියෙන්නේ.
මම ලංකාවට ආපු මුල්ම සතියේ නිසා ඇඳලා හිටියේ ටිකක් අමුතු, විදේශීය පන්නයේ ඇඳුම්. මම රත්නශ්‍රී සර් ළඟට ගිහින් කිව්වා 'සර්, මට සිංදුවක් ලියාගන්න ඕනේ' කියලා. සර් මගේ උඩ ඉඳන් පල්ලෙහාටම බලලා කිව්වා 'ඔයාට දෙන්න සිංදු මං ළඟ නැහැ' කියලා. මට එකපාරටම තේරුණා සර් මගේ බාහිර පෙනුම සහ මගේ අමුතු ඇඳුම් දිහා බලලයි මාව ප්‍රතික්ෂේප කරන්නේ කියලා.
හැබැයි මම කිව්වා සර්, මම කපුගේ අයියා එක්ක කරපු එක සිංදුවක් තියෙනවා, පොඩ්ඩක් ඒක අහලා බලමුද? කියලා. ඊට පස්සේ මම මගේ ළඟ තිබුණු කැසට් පටය ප්ලේ කළා. ඒ සිංදුව අහපු සැනින් සර් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා!
"මගේ සිංදුව අහලා ඉවර වුණු ගමන් රත්නශ්‍රී සර් කිව්වා, යන් යන්... මරු සිංදුවක් තියෙනවා උඹට දෙන්න! කියලා. සර් මට කිව්වා මේක මම ලංකාවේ ප්‍රවීණ ගායකයෙකුට හදපු සිංදුවක්. හැබැයි ඔහුට වෙන්න තියෙන දේ මම ඔයාට දෙනවා කියලා ඒ සිංදුව මට දුන්නා.
ඒක ඇත්තටම ලියා තිබුණේ අපේ ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහත්මයාට! අන්තිමේදී මගේ වාසනාවට ඒ සිංදුව මට ලැබුණා. ඒක තමයි අදටත් හැමෝම ආදරය කරන මේ ගීතය..."
"එපා වෙන්නට පෙර ඔබට මට අවසරයි නික්මී යන්නට...
ලියූ දහසක් කවිවලින් මට එකම කවියක් වත් වෙන්න..."
බාහිර පෙනුම දෙස බලා තීරණ ගත නොහැකි බව පසක් කරමින්, එදා ලක්ෂ්මන් දක්ෂතාවයට වටිනාකමක් දෙමින් රත්නශ්‍රී විජේසිංහයන් දුන් ඒ අපූර්ව තෑග්ග, අදටත් රසිකයන්ගේ නෙතට කඳුළක් උණන සදාකාලික මතකයක් වී හමාරය!