මේ දවස්වල අප්‍රිකානු කලාපයේ ඉබෝලා ව්‍යාප්තියක් නිසා ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
මේ නිසා ලංකාවේ අයත් ඉන්නේ පොඩි බයකින්.කොවිඩ් ඉවර වුණා විතරයි, දැන් ඉබෝලා ලංකාවටත් එයිද? කියලා ගොඩක් දෙනෙක් අහනවා. ඔන්න ඒ හැමෝටම දැනගන්න ඉබෝලා ගැන ඇත්තම විද්‍යාත්මක කතාව සහ ලංකාවේ තත්ත්වය මෙන්න.
ඉබෝලා කියන්නේ මිනිසුන්ට වගේම වානරයින් (ගෝරිල්ලන්, චිම්පන්සීන්) වැනි සතුන්ටත් වැළඳෙන, මරණ අනුපාතය 50%ක් තරම් ඉතා ඉහළ මාරාන්තික රෝගයක්. හැබැයි මේකේ හොඳ පැත්තකුත් තියෙනවා.
ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේකත් කොවිඩ් වගේ කැස්සෙන්, කිවිසුමෙන් බෝවෙනවා කියලා. නැහැ! ඉබෝලා වාතයෙන් බෝවෙන්නේ නැහැ.
මේක බෝවෙන්නේ සෘජු ස්පර්ශයෙන් (Direct Contact) විතරයි.
වෛරසය ආසාදනය වූ වවුලන් හෝ වනසතුන්ගේ මස් පරිහරණයෙන් හෝ අනුභවයෙන් මුලින්ම මිනිසාට වැළඳෙනවා.
ඊටපස්සේ රෝගියෙකුගේ ලේ, වමනය, මළපහ, කෙළ, දහඩිය හෝ ශුක්‍රාණු වැනි ශරීර ද්‍රවයන් වෙනත් අයෙකුගේ තුවාල වූ සමක් හෝ ඇස්, නාසය, මුඛය හරහා ඇතුළු වීමෙන් තවත් කෙනෙක්ට බෝවෙනවා.
රෝගීන් භාවිත කළ ඉඳිකටු, ඇඳ ඇතිරිලි හෝ ඇඳුම් ස්පර්ශ කිරීමෙන් ද පැතිරෙන්න පුළුවන්.
ඉබෝලා ආසාදිතයෙකුගෙන් තවත් අයෙකුට රෝගය බෝවිය හැක්කේ, එම රෝගියා ක්‍රියාකාරී ලෙස රෝග ලක්ෂණ පෙන්වීමට පටන් ගත් පසුව විතරයි! ලක්ෂණ නැති කෙනෙක්ගෙන් බෝවෙන්නේ නැහැ.
හඳුනාගන්නේ කොහොමද?
වෛරසය ශරීරගත වී දින 2 සිට 21 දක්වා කාලය තුළ රෝග ලක්ෂණ මතු වෙනවා.
මුල් අවධියේ දී තද උණ, දරුණු හිසරදය, ඇඟපත සහ හන්දිපත් රුදාව, දැඩි තෙහෙට්ටුව සහ උගුරේ අමාරුව.
පසුකාලීනව දැඩි වමනය සහ පාචනය, බඩේ කැක්කුම, වකුගඩු සහ අක්මාවේ ක්‍රියාකාරිත්වය අඩපණ වීම.
උත්සන්න වූ විට ශරීරයේ අභ්‍යන්තරයෙන් සහ බාහිරින් (විදුරුමස්වලින් හෝ මළපහ සමඟ) ලේ ගැලීම් සිදුවෙනවා.
ඉස්සර වගේ නෙවෙයි, දැන් වෛද්‍ය විද්‍යාව දියුණුයි. රෝගියා විජලනය වීම වැළැක්වීමට සේලයින් දීම වගේම, වෛරසය මර්දනයට සාර්ථක "මොනොක්ලෝනල් ප්‍රතිදේහ" ප්‍රතිකාර ක්‍රම දැන් තියෙනවා. එමෙන්ම සෞඛ්‍ය අංශ සේවකයන්ගේ ආරක්ෂාව සඳහා ඉතා සාර්ථක Ervebo එන්නතත් (Vaccine) දැනට භාවිත කරනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය කියන විදිහට ඉබෝලා ලංකාවට බලපෑම් කිරීමට ඇති ඉඩකඩ ඉතාමත් අවමයි. ඒකට හේතු මෙන්න,
ලංකාව සහ අප්‍රිකානු කලාපීය රටවල් අතර සෘජු සංචාරක සබඳතා හෝ දිනපතා ගුවන් ගමන් නැති තරම්.
ලක්ෂණ නැති අයගෙන් සමාජයට වෛරසය පැතිරෙන්නේ නැති නිසා ගුවන් තොටුපළේදීම රෝගීන් අල්ලගන්න ලේසියි.
ලංකාවට එන්න තියෙන අවදානම අඩු වුණත්, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සෞඛ්‍ය ඒකක මගින් අවදානම් රටවල සිට පැමිණෙන අය ගැන දැඩි නිරීක්ෂණයක ඉන්නවා. කිසියම් හෙයකින් සැකකටයුතු රෝගියෙකු හමු වුවහොත් වහාම ඇතුළත් කර ප්‍රතිකාර කරන්න මුල්ලේරියාව බෝවන රෝග විද්‍යායතනය (IDH රෝහල) සියලුම පහසුකම් එක්ක සූදානමින් ඉන්නවා.
එහෙනම්, ඉබෝලා ගැන අනවශ්‍ය විදිහට බය වෙලා Facebook එකේ බොරු ප්‍රචාර ශෙයාර් කරගන්නේ නැතුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල උපදෙස් ගැන විතරක් අවධානයෙන් ඉමු..